පාද සතර කපා හා දත් ගලවාගෙන ගොස් තිබියදී හමු වු කඳුකර කොටි මළසිරුර සම්බන්ධයෙන් විශේෂ හා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි නල්ලතන්නිය වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවැසීය.
බගවන්තලාව වත්තේ උඩ කොටසේ සමනල රක්ෂිතයට මායිම්ව තිබියදී ඊයේ (01දා) මෙම කඳුකර කොටි මළසිරුර සොයා ගෙන තිබිණි.
කඳුකර කොටියාගේ මළ සිරුර සොයා ගන්නා විට එම සතාගේ දත් ගලවාගෙන හා අත් පා හතර කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් රැගෙන ගොස් තිබු බවත්, මෙම අපරාධය සිදු කරන ලද පුද්ගලයන් සොයා විශේෂ පරීක්ෂණයක් අංශ කීපයක් ඔස්සේ වනජීවී නිලධාරීන් විසින් සිදු කරගෙන යනු ලබන බවද කරුණාතිලක මහතා කීය.
මේ සම්බන්ධයෙන් හැටන් අධිකරණයට අද (02දා) කරුණු දැක්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කඳුකර කොටි මළසිරුර රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන යාමට පියවර ගන්නා බවද කරුණාතිලක මහතා පැවැසීය.
මෙම සතා මියයාමට හේතුව මරණ පරීක්ෂණයෙන් අනාවරණය කරගැනීමෙන් අනතුරුව එම කරුණු ඔස්සේද මේ පිළිබඳව තවත් පරීක්ෂණයක් සිදු කරනු ලබන බවද කරුණාතිලක මහතා වැඩිදුරටත් කීය.
ශාන් හුලංනුගේ

