හිටපු පාතාල කල්ලි ක්රියාකාරිකයකු වූ එස්. දයානන්ද නොහොත් කොට දයා නැමැත්තාගේ මළ සිරුර ඇරව්වල රත්න මාවතේ දෙමහල් නිවසක ඇඳක් පාමුල වැටී තිබියදී අද (27දා) සොයාගත් බව මහරගම පොලිසිය පවසයි.
වයස අවුරුදු 55 ක් වූ ඔහු මීට දින කිහිපයකට ඉහත දී කිසියම් හෝ හේතුවකින් මියයන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මියගිය අයගේ ස්ථිර පදිංචිය මිරිහාන ඇඹුල්දෙණිය ප්රදේශයේ බව පොලීසිය කියයි.
ඔහු දෙමහල් නිවසේ උඩු මහලේ කාමරයක් කුලියට ගෙන තනිව ජීවත් ව සිටි බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම නිවස තුළින් අධික දුගඳක් හමන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව මළ සිරුර සොයාගෙන තිබේ.
නුගේගොඩ අධිකරණයේ මහේස්ත්රාත් ප්රියන්ත අල්විස් මහතා එම ස්ථානයට පැමිණ ලබා දුන් නියෝගයක් අනුව මියගිය කොට දයා නැවතී සිටි කාමරයේ දොර කැඩූ අතර අනතුරුව මහේස්ත්රාත්වරයා විසින් මල සිරුර පරික්ෂා කෙරිණි
ඔහු පරිහරණය කළ බව කියන ජංගම දුරකථනය සහ කන් රඳවනය ඇඳ යට තිබී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
මළ සිරුර සොයා ගන්නා විට අධික දුර්ගන්ධයකින් පැවති බව පොලිසිය කියයි. නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් කැඳවා පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.