2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් කිරීම, එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල ඇතුළු තිදෙනාට එරෙහි නඩුව ජූලි 25 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා අද (30) නියම කළේය.
2016 පෙබරවාරී මස 28 වැනිදා අනතුර සිදුවන අවස්ථාවේදී ඩබ්ලිව්.පී. කේ.ටී. 7545 ජීප් රථයේ පැදවුයේ දිලුම් තුසිත කුමාර නමැත්තා බව හැඟවීමට බොරු සාක්කි සැදීමට කුමන්ත්‍රණය කිරීම, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නීත්‍යානූකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා සාක්කි අතුරුදන් කිරීමට කුමන්ත්‍රණය කිරීම යටතේ විත්තිකරුවන් තිදෙනාටම එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
එමෙන්ම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නීත්‍යානූකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා වැරදි වාර්තාවක් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම යටතේ එවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට එරෙහිවද, අනතුර සිදුවන අවස්ථාවේදී ඩබ්ලිව්.පී. කේ.ටී. 7545 ජීප් රථයේ පැදවුයේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බව දැන දැනම ඒ අවස්ථාවේදී රථය පැදවුයේ තමා බවට මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සාවද්‍ය වරද කියාපෑමක් කළ බවට පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර නමැත්තාට එරෙහිවද නීතීපතිවරයා විසින් වෙනම චෝදනා ඉදිරිපත් කොට ඇත.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට, එවකට වැලිකඩ හිටපු පොලිස්ථානාධිපතිවරයාව සිටි දැනට සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට මෙන්ම පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ බව කියන දිලුම් තුසිත කුමාර නමැත්තන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා 16 ක් යටතේ නඩු පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් නීතිපතිවරයා විසින් නඩුව ගොනු කර ඇති ආකාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සමේ තීන්දුව මෙතෙක් ලැබී නොමැති හෙයින් නඩුව කල් තබන්නැයි ඉල්ලා සිටියේය. කරුණු සළකා බැලු විනිසුරුවරයා නඩුව ජූලි 25 වැනිදා තෙක් කල් තැබීමට නියම කළේය.