පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් බුර්කි මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (28දා) බත්තරමුල්ල, ‘ඉසුරුපාය’ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී හමුවිය.
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්රයට, පාසල් අධ්‍යාපන ක්ෂේත්රයට සහ රාජ්‍ය සේවයට ශිෂ්‍යත්ව විශාල ප්‍රමාණයක් මේ දක්වා පාකිස්ථානු රජයෙන් පිරිනමා ඇති අතර ඒ පිළිබඳ එම රජයට අමාත්‍යවරයා මෙහි දී සිය කෘතවේදීත්වය පළ කළේ ය. ඉදිරියේ දී තව දුරටත් ශිෂ්‍යත්ව අවස්ථා වැඩි වශයෙන් ලබා දෙන බව ද මහ කොමසාරිස්වරයා පැවසී ය.
අනාදිමත් කාලයක සිට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිදු කෙරෙමින් පවත්වාගෙන යනු ලබන මිතුදම, දෙරටේ ජනතාව අතර ද ව්‍යාප්ත විය යුතු බව පාකිස්ථානු මහ කොමසාරිස්වරයාගේ අදහස විය.
ජාත්‍යන්තරය හමුවේ අප මුහුණ දුන් අසීරු අවස්ථාවල දී පාකිස්ථානය අප වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳ ව ද, තිස් වසරක යුද්ධය අවසන් කිරීමට දුන් අතහිත ද අමාත්‍යවරයා කෘතඥතා පූර්වක ව සිහිපත් කළේ ය.
දෙරටේ ම ප්‍රශ්න එක ම මුහුණුවරක් ගන්නා බැවින් අපට ලොව හමුවේ එකට එක් ව කටයුතු කළ හැකි බව ද මහ කොමසාරිස්වරයා පවසා සිටියේ ය.
අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ‘ජාතික පාසල් දහසේ ව්‍යාපෘතිය’ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරු ව ඊට අවශ්‍ය සහාය ලබා දීමටත් සාමාන්‍ය පාසල් සඳහා සුහුරු පන්ති කාමර පහසුකම් සඳහා උපකාර කිරීමටත් පාකිස්ථානු මහ කොමසාරිස්වරයා මෙහි දී ඉදිරිපත් විය. පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නගාසිටුවීමට ද පාකිස්ථානු රජයේ සහාය ලබා දෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.
