වැල්ලව නගරයේ මත්පැන් අලෙවි සැලක් ආරම්භ කිරීම සඳහා විහාරාධිපති හිමිනමක් අනුමැතියක් ලබා දුන් බව කියන සිද්ධියක් මුල් කර ගනිමින් ප්‍රදේශවාසින් පිරිසක් සමඟ ඇතිවූ ආරාවුලකින් පසුව පහර කෑමට ලක්වූ භික්ෂූන් වහන්සේලා දෙනමක් සමග පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව වාර්තාවේ.
ඊයේ (2දා) රාත්‍රියේ, වැල්ලව නගරයේ පිහිටි විහාරස්ථාන භූමියකදී මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිවී තිබේ.
වැල්ලව නගරයේ පවත්වාගෙන යන බියර් අලෙවි සැලට අමතරව තවත් මත්පැන් අලෙවි සැලක් ආරම්භ කිරීම සඳහා විරෝධතාවයක් නොමැති බවට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් අනුමැතිය ලබාදී ඇති බවට සැක කරමින් ඒ සම්බන්ධයෙන් විහාරස්ථානයේ දායකයන් ඇතුළු පිරිසක් විරෝධය පළ කිරීමට ගිය අවස්ථාවේදී මෙම ගැටුම්කාරී තත්ත්වය හටගෙන තිබෙන බව කියයි.
මත්පැන් අලෙවිසැලක් ආරම්භ කිරීමට ප්‍රදේශයේ ජනතාව විරෝධය පළ කරත්දී විහාරාධිපති හිමියන් එම ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබාගෙන ඊට අවසරය ලබාදී ඇති බවට ප්‍රදේශවාසී චෝදනා එල්ල කරති.
විහාරස්ථානයේ වැඩ වසන භික්ෂූන් දෙනමක් සහ එම පිරිස අතර ඇතිවූ ආරාවුල සමථයකට පත් කිරීම සඳහා පැමිණි වැල්ලව පොලීසියේ නිලධාරීන් හටද එම පිරිසේ විරෝධතාවය එල්ලවී තිබේ.
මෙහිදී ආරාවුල දුරදිග ගොස් පිරිස අතරේ ඇතිවූ ගැටුමේදී භික්ෂූන් දෙනම සමඟ පොලිස් නිලධාරියෙකු සහ ප්‍රදේශවාසියෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට හා වැල්ලව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටින බව පොලීසිය සඳහන් කළේය.
මෙම ගැටුම සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.