සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් සමාගමට අය විය යුතු මුදල් තවම අයකරගෙන නැහැ - කෝප් කමිටුව පෙන්වා දෙයි.
කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් බඳවා ගැනීම හේතුවෙන් නිලධාරීන් නිතර වෙනස්වීම මත ආයතනයේ වගවීම සම්බන්ධ ගැටලු ඇතිවිය හැකියි - කෝප් කමිටුව පෙන්වා දෙයි
භාණ්ඩාගාර අනුමතියකින් තොරව සිදු කළ දීමනා කිහිපයක්.
සමාගමේ ඒකාබද්ධ ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධතිය (ERP system) සම්බන්ධ ගැටලු පිළිබඳ අවධානය
ඉදිරියේදී වගකීමක් සහිත ආයතනයක් ලෙස සතොස ගොඩනැගිය යුතුයි - කෝප් සභාපති
2014 සහ 2015 වර්ෂවලදී විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීම හේතුවෙන් ලංකා සතොසට රු. 15,157,031,018 ක පාඩුවක් සිදුව ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.
මේ පිළිබඳ අනාවරණය වූයේ ලංකා සතොස ලිමිටඩ් ආයතනය 2021 සහ 2022 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී කෝප් කාරක සභාව පෙන්වා දුන්නේ 2014 සහ 2015 වර්ෂවලදී සිදු කර තිබුණු ආනයනික සහල් සඳහා රු. 27,011,980,142ක පිරිවැයක් දරා තිබුණත් එම සහල් තොගය අලෙවියෙන් ලැබී ඇත්තේ රු. 11,854,949,124 ක ආදායමක් බවයි. ඒ අනුව දේශීය සහල් වෙළඳපොළ තත්ත්වය, වී අස්වැන්න ලැබීම සහ සහල් ගබඩා කිරීමේ පහසුකම් පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු නොකර විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීමට කටයුතු කර තිබී ඇති බවත් මේ නිසා රු. 15,157,031,018 ක පමණ මෙම පාඩුව සතොස ආයතනයට සිදුවී ඇති බවත් කාරක සභාව පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කොට ඇත්දැයි කාරක සභාව පැමිණි නිලධාරීන්ගෙන් විමසූ අතර මෙහිදී නිලධාරීන් පෙන්වාදුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා ගොනුකරීමට භාරදී ඇති බවයි.
එසේම සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් සමාගමට අය විය යුතු මුදල් තවම අයකරගෙන නොමැති බවද කෝප් කමිටුව විසින් පෙන්වා දෙන ලදි. සමාගමේ ගොඩනැගිලි කුලියට ගැනීමේ මාර්ගෝපදේශ අනුව ගොඩනැගිලි නොමැති හිස් ඉඩම් සඳහා අනාගතයේ වෙළඳසැල් පටන් ගැනීමේ උපකල්පනය මත අත්තිකාරම් නොගෙවිය යුතු වුවත්, 2020 දෙසැම්බර් 31 දින වන විට ගිවිසුම් 29 ක් අනුව ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා අත්තිකාරම් මුදල් ලෙස රු. 34,234,996ක් ඇස්තමේන්තුවක් ලබාගැනීමකින් තොරව ගෙවා තිබුණු බව මෙහිදී කාරක සභාව පෙන්වා දෙන ලදි.
මේ අනුව එසේ ඉදි කරන ලද ගොඩනැගිලිවලින් භාවිතයට සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ආයතන හිමිකරුවන් 18 දෙනෙකුට එරෙහිව රු. 27,435,000 ක් අයකර ගැනීමට සමාගම විසින් නඩු පවරා ඇති බව මෙහිදි අනාවරණය විය.
තවද කොන්ත්‍රාත් පදනම මත අත්‍යාවශ්‍ය තනතුරු සඳහාද නිලධාරීන් පත් කරගැනීම සිදු කර ඇති බව පෙන්වාදුන් කාරක සභාව මෙම තාවකාලික බඳවා ගැනීම හේතුවෙන් නිලධාරීන් නිතර වෙනස්වීම මත ආයතනයේ වගවීම සම්බන්ධ ගැටලු ඇතිවිය හැකි බව පෙන්වා දුන්නේය. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම තත්ත්වය මේ වන විටත් වටහාගෙන ඇති බැවින් ඉදිරියේදී මෙම පත්වීම් වසර 5ක කාලසීමාවක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවයි.
එසේම තාවකාලික පත්වීම් ඇතුළුව තවත් පත්කිරීම් කිහිපයක් සඳහා භාණ්ඩාගාර අනුමතියකින් තොරව සිදු කළ දීමනා සම්බන්ධයෙන්ද මෙහිදී කාරක සභාව පෙන්වා දුන් අතර මෙම තත්ත්වයන් විධිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
මීට අමතරව සමාගමේ ඒකාබද්ධ ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධතිය (ERP system) සම්බන්ධ ගැටලු පිළිබඳ අවධානය යොමු වූ අතර විශාල වැය බරක් දරා මෙම පද්ධතිය පුළුල් කිරීම සිදු කළද එමගින් ඇතැම් අවශ්‍යතාවන් සපුරාගැනීමට නොහැකි බවද මෙහිදී අනාවරණය විය.
මෙම සියලු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභාපතිවරයා අවධාරණය කළේ ඉදිරියේදී වගකීමක් සහිත ආයතනයක් ලෙස සතොස ගොඩනැගීම සිදු විය යුතු බවයි. ඒ වෙනුවෙන් නිලධාරීන්ගේ කැපවීම බලාපොරොත්තුවන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මෙම කාරක සභා රැස්වීම සඳහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, සුදත් බලගල්ල, චන්දිම හෙට්ටිආරච්චි, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, තිලිණ සමරකෝන්, එම්.කේ.එම්. අස්ලම් සහ නීතීඥ නිලන්ති කොට්ටහච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.