පළිබෝධ නාශක භාවිතයෙන් දිවි හානි කර ගැනිම සියයට 70කින් පහළට
1990 සිට අතිශ්‍ය විෂ සහිත පළිබෝධ නාශක ක්‍රමයෙන් තහනම් කිරීමෙන් ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් 70%කින් පමණ අඩු වී ඇති බවත් සියලු රටවල් තමන්ගේ සියදිවි නසා ගැනීම වැළැක්වීමේ උපාය මාර්ගයන්ට පළිබෝධ නාශක සීමා කිරීම අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු යැයි තමා යෝජනා කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමඟාමීව “පළිබෝධ නාශක මඟින් සියදිවිනසා ගැනීම වැළැක්වීම” පිළිබඳ විශේෂ පැතිකඩ සැසිවාරයට එක්වෙමිණි.
පසුගිය 16වන දින ආරම්භ වු 79වන ලෝක සෞඛ්‍ය සමුළුව හෙට (23) දක්වා පැවැත්වෙන අතර සමුළුව සඳහා රටවල් 194ක් නියෝජන්ය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, විවිධ ආයතන නියෝජිතයින්, නිරීක්ෂකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටී.
මෙම සැසිය ශ්‍රී ලංකාව, ගයනාව, කෙන්යාව, නයිජීරියාව, පාකිස්ථානය යන රටවල් එක්ව සංවිධානය කළ අතර ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහන සහ ජාත්‍යන්තර සියදිවිනසා ගැනීම් වැළැක්වීමේ සංගමයේ හවුල්කාරීත්වය ද හිමිවිය.
සැසිය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ලංකාවේ අත්දැකීම් මත පදනම්ව පළිබෝධ නාශක මඟින් සියදිවිනසා ගැනීම් වැළැක්වීම උදෙසා පළිබෝධ නාශක සීමා කිරීමේ සාර්ථකත්වය පිළිබඳ කරුණු දක්වනු ලැබීය. විශේෂයෙන් 1990 වසරේ සිට අතිශය විෂ සහිත පළිබෝධ නාශක ක්‍රමයෙන් තහනම් කිරීම තුළින් මෙරට සියදිවිනසා ගැනීම් 70%කින් පමණ අඩු වී ඇති බවත් මෙය සාක්ෂි මත පදනම් වු හොඳම මැදිහත් වීම බව ද ඒ මහතා සඳහන් කළේ ය.
තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා සියලු රටවල් සියදිවිනසා ගැනීම වැළැක්වීමේ උපාය මාර්ගවලට පළිබෝධ නාශක සීමා කිරීම අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතු යැයි තමා යෝජනා කරන බවත් එය අඩු වියදමකින් කෙටි කාලයක් තුළ ප්‍රතිඵල ලබා ගත හැකි මැදිහත් වීමක් ලෙස මෙහි දී හඳුන්වා දුන්නේය.
මෙම කාර්යයන් සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට තාක්ෂණික සහ ප්‍රතිපත්තිමය සහයෝගයන් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEF) වැනි ආයතනයන්ගේ ඉදිරිපත්වීම අත්‍යවශය බව සඳහන් කළ අමාත්‍යවයා ශ්‍රී ලංකාව තම අත්දැකීම් අනෙකුත් රටවල් සමඟ බෙදා ගැනීමට සැමවිටම සුදානම් බව ද ප්‍රකාශ කළේ ය. එමෙන් ම පළිබෝධ නාශක සීමා කිරීම පමණක් සියදිවි නසා ගැනීම් වැළැක්වීමට ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා ප්‍රජා පාදක සෞඛ්‍ය සේවා ශක්තිමත් කළ යුතු බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව වර්තමානයේ ප්‍රාථමික සෞඛ්‍ය ශක්තිමත් කිරීම මඟින් සිදු කරනු ලබන බව ද සඳහන් කළේ ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ වලට පළිබෝධ නාශක සීමා කිරීමේ ප්‍රතිපත්තිය ඇතුළත් කරන ලෙසත් එමෙන් ම සාමාජික රටවල් ද තම ජාතික සැලසුම්වලට එය ඇතුළත් කර ගන්නා ලෙස යම් පෙළඹවීමක් සිදු කිරීමත් මෙම සැසිවාරයේ ප්‍රධාන අරමුණක් විය.
ශ්‍රී ලංකාව මේ වන විට සියදිවි නසා ගැනීම් අඩු කිරීමේ ගෝලීය ප්රමුඛත්වයක පසුවේ. 1995 දී ලක්ෂයකට 47ක් වු අනුපාතය 2022 වන විට 14 දක්වා අඩු වී ඇත. විෂ සහිත පළිබෝධ නාශක තහනම් කිරීම මේ සඳහා ප්‍රධාන හේතුවක් වී ඇති බව මෙහි දී අනාවරණය විය. මේ අතර 2027 වසරේ දී ජාත්‍යන්තර සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ සංගමය (IASP) 34වන ලෝක සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බව ද මෙහි දී සඳහන් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

