පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට තියන්නැයි විපක්ෂය කියයි
පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමු වරට රැස්වෙයි.
පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු වරට 2026.03.17 වන දා පාර්ලිමේන්තුවේදී රැස්විය.
මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා, පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කරමින් දැනට බලාත්මකව පවතින 2017 අංක 17 දරන පනතේ විධිවිධාන ප්‍රකාරව හඳුන්වා දෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කොට්ඨාස සීමා නිර්ණය ක්‍රියාවලිය මෙතෙක් අවසන් කර නොතිබීම හේතුවෙන් පැන නැගී ඇති නීතිමය බාධාව නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ගැටලුව මතුව ඇති බව පෙන්වා දුන්නේය.
විපක්ෂය නියෝජනය කරමින් සාමාජික මන්ත්‍රීවරයන් අදහස් දක්වමින්, අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළුව වැදගත් ආයතනවලින් බහුතරයක් පාලනය වන්නේ පළාත් සභා ඔස්සේ බව පෙන්වා දුන්හ. ඒ අනුව දැනට වසර 9ක් පළාත් සභා නොපැවැත්වීම හරහා ගැටලු රැසක් පැන නැගී ඇති බව ඔවුහු පැවසුහ. ඒ අනුව මෙම පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය වන සමානුපාතික ක්‍රමය ඔස්සේ පවත්වා, පසුව මෙම ඡන්ද විමසීමේ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂය නියෝජනය කරමින් පැමිණි සාමාජික ගරු මන්ත්‍රීවරයන් යෝජනා කළහ.
කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම හා තරුණ නියෝජනය මෙම පළාත් සභා ඡන්ද විමසීමේදී ලබාදීම ආදී ඡන්ද ක්‍රමයක් සකස් කිරීම වෙනුවෙන් වඩාත් පුළුල් හා ගැඹුරු සංවාදයක් ඇති වීමේ වැදගත්කම සභාපතිවරයා අවධාරණය කර සිටියේය.
ඒ අනුව පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දැනට පවතින නීතිමය තත්ත්වය පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගැනීමේ වැදගත්කම සිහිපත් කළ සභාපතිවරයා, ඒ සඳහා මීළඟ රැස්වීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් කැඳවා ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට යෝජනා කළේය.මෙම විශේෂ කාරක සභාව පළමු රැස්වීමේ දින සිට මාස 3ක් තුළ වාර්තාව ඉදිරිපත් කළ යුතු බවද සභාපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
