පළාත් පාලන ආයතන විසින් එකතු කරනු ලබන බදු මුදල් යොදවා එම ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අවස්ථාව එම ආයතනවලටම ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් නාගරික හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා තිබේ.
පසුගිය සදුදා පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේ දී මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බව ඇමතිවරයා සදහන් කරයි.
මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත්කර ඇති චක්‍රලේඛයක් හේතුවෙන් පළාත් පාලන ආයතනවලට සිය බදු මුදලින් තම ප්‍ර දේශ වල යටිතල පහසුකම් දියුණු කිරීමට හැකියාවක් නොලැබෙයි.මේ සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන ගණනාවක් තමන්ට ඉල්ලීම් ඉදිරිපත් කර තිබු බව පැවසු ඇමතිවරයා එම ඉල්ලීම් අනුව ජනාධිපතිවරයාගේ අවධානය මේ සදහා යොමු කළ බව ද කීවේය. ඒ සදහා අවසර ලැබෙන්නේ නම් සිය ප්‍ර දේශවල සංවර්ධන කටයුතු සදහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙනතුරු බලා සිටිමට පළාත් පාලන ආයතන වලට සිදු නොවන බව ද ඇමතිවරයා අවධාරණය කළේය.
මේ අතර අවසන් අදියරේ පවතින සංවර්ධන ව්‍යාපෘති වල වැඩ කඩිනමින් අවසන් කිරීමට ද රජය තීරණය කර තිබේ. ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වල සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂිතයි. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් නව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරිම තාවකාලිකව අත්හිටුවා ඇතැත් කඩිනමින් නැවත එම ව්‍යාපෘති ආරම්භ කිරිම ආණ්ඩුවේ අපේක්ෂාව බව ද ඇමතිවරයා සදහන් කළේය.