මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආරම්භ කළ දින සිට මේ දක්වා කාළය තුළ එම ගුවන් තොටුපළ වෙත පළමු වරට ස්ථිර කාළසටහනකට ( Schedule Flights ) අනුව පැමිණෙන ගුවන් සේවය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට " විස් එයා " ගුවන් සේවයේ ගුවන් යානා එළඹෙන ජූනි මස 01 දින සිට පැමිණීමට නියමිත බව සිවිල් ගුවන් සේවා, අපනයන ප්‍රවර්ධන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසූවේ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ " සිල්ක් රූට් " විශේෂ අමුත්තන්ගේ මැදිරියේ මේ පිළිබඳව පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
මත්තල ගුවන් තොටුපළ ආරම්භ කළ දින සිට මෙතෙක් එම ගුවන් තොටුපළ වෙත පැමිණියේ තාවකාලික පදනම මත පැමිණි ගුවන් යානා බවත් එහෙත් මෙම ගුවන් තොටුපළ ඉතිහාසයේ ප්‍රථම වතාවට අබුඩාබි නුවර සිට මෙම ගුවන් සේවයේ ගුවන් යානා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන බව ද අමාත්‍යවරයා පැවසීය .
එසේම මෙම ගුවන් සේවය අඩු වියදම් ( Ultra Low Cost ) ගුවන් සේවාවක් වීම ද විශේෂත්වයක් වන අතර , එමගින් ශ්‍රී ලංකාවේ සිට අබුඩාබි වෙත යෑමට (එක් ගුවන් මගියෙකුට එක් ගුවන් ගමන් වාරයක් සදහා) රුපියල් 11,000 ක් නැතිනම් ඇමෙරිකානු ඩොලර් 48 ක මුදලක් පමණක් අය කෙරෙන බව ද පැවසීය.
මෙම ගුවන් සේවය සතියකට දින 03 ක් එනම් සදුදා, බදාදා සහ සිකුරාදා දින වල අබුඩාබි සිට මත්තල ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරන බව ද පැවසීය.
මේ වනවිට මෙම ගුවන් සේවය එළඹෙන ජූනි 01 දින සිට ආරම්භ වන ගුවන් ගමන් සදහා ගුවන් ප්‍රවේශ පත්‍ර අලෙවිය 03/09 දින සිට ආරම්භ කරන බව ද අඅනාවරණය කළේය.
මෙම අඩු වියදම් ගුවන් සේවය මගින් මැදපෙරදිග යුරෝපය මෙන්ම විශේෂයෙන්ම ඊශ්‍රායලය තුළ සිටින සංචාරකයන් ද මෙරටට ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වන බව ද චානක අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකාව තුළ මැදපෙරදිග සේවා සදහා පිටත්ව යන ශ්‍රමිකයන් අතරින් 90% ක් ම මත්තල ගුවන් තොටුපළ ආශ්රිත ප්‍රදේශ වල පදිංචිකරුවන් බවත්, එයින් ද මොනරාගල, අම්පාර වැනි ප්‍රදේශ වල පදිංචිකරුවන් මේ අතරින් ප්රමුඛස්ථානයක් ගන්නා බවත් සදහන් කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වෙත යෑමට පී.සී.ආර්. පරීක්ෂණ අවශ්‍ය නොවන බවත් , අවශ්‍ය වුවහොත් ඒ සදහා හම්බන්තොට මහ රෝහලේ විශේෂ ස්ථානයක් ඒ සදහා සූදානම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය .
මෙම විස් එයා ගුවන් සේවය සතුව ගුවන් යානා 149 ක්ප වතින අතර ඒ අතරින් ශ්‍රී ලංකාව සදහා ගුවන් ගමන් සැළසීමට එයා බස් ඒ. 321 නියෝ ( Neo ) වර්ගයේ ගුවන් යානා යෙදවීමට බලාපොරොත්තු වන බව පැවසීය.