පොල් අර්බුදය විසඳීම සඳහා ආනයනය පළමු පොල් කිරි තොගය මේ වන විට වරායට රැගෙන විත් තිබෙන බවත් එහි නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂා කටයුතු මේ වන විට සිදු කරන බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.
පොල් කර්මාන්තය ආශ්රිත කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සපායාදීම හා දේශීය වෙළෙඳපොළෙහි පාරිභෝගික ජනතාවට පොල් මිල පහත හෙළීමේ අරමුණින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඒකාබද්ධව යොමු කළ කැබිනට් අනුමැතියට අනුව මෙය ක්‍රියාත්මක වන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මේ අනුව කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ වැඩසටහන යටතේ ආනයනය කරන ලද පළමු පොල් කිරි තොගයෙහි නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන බවද සඳහන් කරයි.
මේ වසරේ මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් පොල් ගෙඩි මිලියන 200 කට සමාන පරිමාවක පොල් ආශ්රිත නිෂ්පාදන( ශිත කළ පොල් මද,පොල් කිරි හෝ පිටි, කුරුට්ට සහිත කැබලි පොල් (කොප්පරා නොවන)) ආනයනය සඳහා තිරණයක් ගනු ලැබිණ.
මෙම තොගය, පොල් කිරි පිටි කර්මාන්තය සඳහා යොදාගැනීමට නියමිත අතර මේ අනුව කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගෙන දේශීය වෙළෙඳපොළෙහි පොල් මිල පහත බසිනු ඇති බවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ද්‍රව්‍ය කොළඹ වරායේදී, ශාක නිරෝධායන ආයතනය, ප්‍රමිති ආයතනය, පොල් පර්යේෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂා කළ යුතු සියලු ආයතනවලින් අනුමැතිය ලැබීමෙන් පසු කර්මාන්ත ශාලාවලට මුදා හැරීමට නියමිතය.මේ අනුව අදාළ තොගය අද හෝ ඉදිරි දිනවලදී කර්මාන්ත ශාලාවලට මුදා හැරීම සිදුවේ.