බණ්ඩාරගම බොල්ගොඩ ගඟ අසල හෝටලයකින් බොල්ගොඩ ගඟට මළ අපද්‍රව්‍ය බැහැර කළැයි ගම්වාසීන් සමග විරෝධතාවයේ යෙදුණු පුද්ගලයෙකු අද (13) හදිසියේම රෝගාතුරව රෝහල් ගත කිරීමේදී මිය ගියේය.
මෙලෙස මියගොස් තිබුණේ බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සුමිත් සිල්වා නැමැති 52 හැවිරිදි තිදරු පියෙකි.
මධ්‍යම පරිසර අධිකාරියට අයත් වාහන දෙකක් හෝටලය වෙත පැමිණෙන අයුරු මියගිය පුද්ගලයා දැකීමෙන් අනතුරුව
ගම්වාසීන්ද දැනුවත් කර ගම්වාසීන් සමග හෝටලය අසලට පැමිණ අවට පරීක්ෂා කිරීමේ දී හෝටලය පිටුපස රක්ෂිත කොටස අනවසරයෙන් ගොඩකර ඇති අයුරු දැක තිබිණි.
අනතුරුව ගම්වාසීන් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ට එම ස්ථානය පෙන්වා එම රක්ෂිත කොටසේ අනවසරයෙන් ගොඩකර තිබෙන අපද්‍රව්‍ය සහ කළු ගල් ඉවත් කරන තෙක් එම ස්ථානයේ රැඳී සිටින ලෙස දැනුම් දී මියගිය පුද්ගලයා ඇතුළු කීප දෙනෙකු අනවසරයෙන් ගොඩ කර තිබෙන ස්ථානය ගොඩ දැමීමට කටයුතු කළහ.
මෙහිදී අනාවරණය වූයේ හෝටලයේ සිට බොල්ගොඩ ගඟට බෝට්ටු වලට නැගීම සඳහා යොදා තිබෙන කොන්ක්‍රීට් බැම්ම යටින් අපද්‍රව්‍ය ගඟට යොමු කිරීම සඳහා බට යොදා ඇති බවයි.
මියගිය පුද්ගලයා ද ඒ සඳහා සහාය වූ අතර ඔහු එය පරික්ෂා කරමින් සිටියදී හදිසියේ අසනීපව බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබිණි.
පසුගිය දිනවල මෙම හෝටලය පිහිටා ඇති පෙදෙසෙන් මධ්‍යම රාත්‍රියේ දී දැඩි දුර්ගන්ධයක් හමන බවත් නිවෙස්වල පවා රැඳී සිටීමට අපහසු බවත් ඒ සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියට කීප වතාවක්ම පැමිණිලි කර තිබූ බවත් ප්‍රදේශවාසීහු අදහස් දක්වමින් පැවසූහ.
මෙහිදී මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින්ට සහ හෝටලයේ බලධාරීන්ට ගම්වාසීන් ගේ විරෝධතාවය එල්ල විය. බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් කිහිප දෙනකු ආරක්ෂාව සඳහා එම ස්ථානයට පැමිණ සිටියහ
පින්තූර - මියගිය පුද්ගලයා විරෝධතා අවස්ථාවේදී



