ශ්රී ලංකා පදනම් ආයතනයේ සේවක වැටුප් ගෙවීම සඳහා 2025 අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 135ක මුදලින් භාවිතයට නොගත් රුපියල් මිලියන 75ක් යළි මහා භාණ්ඩාගාරය වෙත භාරදීම සිදු කෙරිණි.
ඒ සඳහා අදාළ චෙක්පත ශ්රී ලංකා පදනම් ආයතනයේ සභාපතිනී මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය විසින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත භාර දෙන ලදී.
අයවැය මගින් ලබා දුන් පුනරාවර්තන වියදම් සඳහා වෙන් කළ මුදලකින් කොටසක් මෙලෙස යළි භාණ්ඩාගාරයට ලබාදීම ශ්රී ලංකා පදනම් ආයතනයේ ඉතිහාසයේ ප්රථම වරට සිදු වූ අවස්ථාවක් බව ද විශේෂත්වයකි.
ශ්රී ලංකා පදනම් ආයතනය 2025 වසර තුළ රුපියල් මිලියන 416ක සමස්ත ආදායමක් උපයා තිබූ අතර, වියදම් ලෙස වාර්තා වී තිබුණේ රුපියල් මිලියන 340ක් පමණි.
ඒ අනුව ඉතිරි වූ රුපියල් මිලියන 75ක මුදල යළි භාණ්ඩාගාරය වෙත භාරදීමට 2026 මාර්තු 26 දින පැවති කළමනාකරණ මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දුන් බව සභාපතිනී මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය සඳහන් කළාය.