"මැදියමේ කිරි බොන්න අවධිවන චූටිපුතා එදා නැගිට්ටේ නෑ. පුතා නැගිටලා අඩද්දි මට ඇහැරෙනවා . මට ඇහැරෙද්දි එලිවෙලා. පුතාගේ ඇගට අතතියලා බලද්දි සීතලවෙලා තිබුණා. අනේ දෙවියනේ මම හීනයකින් වත් හිතුවේ නෑ පුතා අපිව දාලා සදහටම ගිහිල්ලා කියලා."
ඉකුත් 19 දා පත්තෑයෙකු සපා කෑමේන මරණයට පත් බිළිඳෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂිදුන් එම බිළිඳාගේ මව වන මුන්දලමල අගුණවිල දේවාලහංදිය පදිංචි අමරසිංහගේ දිනේෂිකා දිල්රුක්ෂි 25 එසේ පැවසුවාය.
පත්තෑයෙකු සපාකෑමෙන් නිදියහනේදීම මෙසේ මරණයට පත්ව ඇත්තේ මුන්දලම අගුණවිල දේවාලහංදිය පදිංචි වයස මාස දෙකයි දවස් 22ක් වයසැති මිරිසගේ සිතූප දිලුම් සචිත්ර නැමති බිළිදෙකි.
මරණයටපත් දරුවාගේ පියාවන එම ලිපිනයේහිම පදිංචි මිරිසගේ සමන් චතුරංග පෙරේරා 33 සාක්ෂි දෙමින් මෙසේ පැවසුවේය.
"මරණය පත්ව ඇත්තේ මගේ බාලම දරුවා. පුතාලා තුන්දෙනයි නෝනයි ගෙයිඇතුලේ ඇදේ එකටමයි නිදන්නේ. මම වෙනම නිදාගන උන්නේ උදේ පාන්දර බිරිඳගේ කෑගැසීම නිසා මට ඇහැරුනාඇවිල්ලා බලද්දි පුතාගේ ඇග සීතලවෙලා තිබුණා.
පුතා ඇස්ඇරියේ නෑ මොකවත් ශබ්දයක් නෑ. අපි ඉක්මනට මුන්දලම රෝහලට ගෙනාවා රෝහලෙන් කිව්වා මරණයට පත්වෙලා කියලා මම ගෙදර ඇවිත් අපේ තාත්තා සමග එක්ව නිදන කාමරය හොඳට පරීක්ෂා කළා.
නිදියගත් ඇඳ හොදට ගැසුවා. ඇදත් මේට්ටයත් අතර ලොකු පත්තෑයෙක් හිටියා අගේ තාත්තා ඒ සතාව මරලා රොහලට අරගෙන ගිහිල්ලා භාර දුන්නා."
පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත රෝහලේ සහකාර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ඩබ්. ඒ .එස්. ආර් වික්‍රමාරච්චි මහතා විසින් සිදුකරන ලදි.
සාක්ෂි සහ වෛද්‍ය වාර්තාව සැලකිල්ලටගත් බංගදෙනිය කුමාරකට්ටුව කොට්ාස හදිසි මරණ පරීක්ෂක ආරියපාල රංදෙනිය මහතා මෙම මරණය පත්තෑයෙකු සපාකෑමෙන් විෂශරීරගත වීමෙන් සිදුවූ මරණයක් බට තීරණයකරන ලදි. මරණපරීක්ෂකවරයා පවසා සිටියේ දරුවන් නිදිකරවීමේදී එමස්ථානය පිළිබඳව හොදින් සොයා බැලීම පරික්ෂා කිරීම කළයුතු බවයි.
ලලිත් නවරත්න



