පක්ෂ සමාජිකත්වයෙන් ඉවත් කිරීම හා ලේකම් තනතුරෙන් ඉවත් කිරීම අදහාගත නොහැකි බවත්, 2019 වසරේදී ලේකම් තනතුර ලැබුණු පසු පක්ෂය ශක්තිමත් කිරිමට තමන් ලංකාව පුරාම ගමන් කළ බවත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
ඊයේ(06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.
"පක්ෂය ආරක්ෂා කර ගනිමින් පක්ෂයට දරදිය ඇද්දා. ආණ්ඩුවේ උවමනාවට එලියට දැම්මා. හැබැයි පක්ෂයෙන් ගියපු අය නැවත පක්ෂයට ගත්තා. මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හා ජනතාව, බුද්ධිමත්. පක්ෂ සාමාජිකයන් පක්ෂයට ආදරෙයි. මම හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් මේ පිළිබඳව බුද්ධිමත්ව සිතයි කියලා.
මේක ගැන මම කණගාටුවෙන්නේ නැහැ. මම කිසි විටකත් පක්ෂය දාලා යන්නේ නැහැ. පක්ෂයේ තීරණයට පිටින් ගිහිල්ලා ආණ්ඩුවට ගිය අයට තියෙන අයිතිවාසිකම මට නැහැ. එත් මම පක්ෂය දාලා යන්නේ නැහැ. ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්පුර්ණයෙන්ම නීති විරෝධීයි. මේ තීන්දුව ගත්ත දේශපාලන මණ්ඩලයට විශාල පිරිසක් ඇවිත් නැහැ. ලේකම් ලෙස මම කැඳෙව්වේ නැහැ. දේශපාලන මණ්ඩලයේ 14 දෙනාගෙන් රැස්වෙලා තියෙන්නේ හතර පස් දෙනයි.
මේ නිසා ඉදිරියෙදි ගත හැකි නීතිමය පියවර ගන්නවා. සභාපති තුමාට යම් භීතියක් තිබුණා මම පක්ෂයේ බලය අල්ලයි කියලා. ඒත් මාව පත් කරන්න ශක්තිය දුන්න නායකයාගේ බෙල්ල කපන්න කිසි දවසක මම ක්‍රියා කරන්නේ නැහැ. ඒක එතුමා හොඳින් අවබෝධය කර ගත යුතුයි. ඒත් නායක තුමාගේ බෙල්ල කපන්න ඉන්නේ කවුද කියලා හොඳින් එතුමා අවබෝධ කර ගත යුතුයි.
පක්ෂයේ තීරණයට පිටින් ආණ්ඩුවට එක් වූ අය පක්ෂයට නැවත ගැනීමට සභාපතිතුමා තීරණය කළා. ඒත් මධ්‍යම කාරක සභාව මෙම පිරිස ගන්න ඕනෑ කියලා තීරණය කරලා තිබුණේ නැහැ. මේක නරක තීරණයක්. අපේ පක්ෂය වසර 17 ක කාලයක් දුක්වින්දා. එතරම් කාලයක් ඉඳලා පස්සේ ආණ්ඩුවක් ගත්තා.
හැබැයි යම් පිරිසකට ඕනැ වෙලා තියෙනවා මේ පක්ෂය රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ කොටස්කරුවන් කරන්න. ඒකට අපේ බලවත් විරෝධය තිබුණා. මම කිව්වා පක්ෂය ගන්නා තීන්දුව සමග ඉන්නවා කියලා. ඒත් පක්ෂයට එරෙහිව ගිය අය විදිහට නම් පක්ෂය ගමන් කරන්නේ එඒකට අපි විරුද්දයි. මේ මත බේදය දිගින් දිගටම තිබුණා. පක්ෂය හැරදාල ගිය අය නැවත පක්ෂයට අරගෙන, පක්ෂය ආරක්ෂා කළ, පක්ෂය අල්ලගෙන හිටිය, දරදිය ඇදපු මාව ආණ්ඩුවේ උවමනාවට එලියට දැම්මා."