නොවැම්බර් 02 සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
වැසි තත්ත්වයත් සමඟ ඇති විය හැකි ඩෙංගු අවදානම පාලනය කිරීම සඳහා නොවැම්බර් 02 වැනිදා සිට 08 වැනිදා දක්වා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්ය කපිල කන්නන්ගර මහතා පැවසීය.
ක්ලීන් ශ්රී ලංකා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම ක්රියාත්මක කෙරෙන අතර, ඒ සම්බන්ධයෙන් මාධ්ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ වෛද්ය කපිල කන්නන්ගර මහතා පැවසුවේ ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේ දැනුවත්භාවය සහ සහභාගීත්වය අත්යවශ්ය බවයි.
පසුගිය ජුනි සහ ජූලි මාසවලදී රට ඩෙංගු අධි වසංගත තත්ත්වයකට මුහුණ දුන් බවත්, එවැනි තත්ත්වයක් යළි ඇතිවීම වළක්වා ගැනීම සඳහා මේ වන විටත් ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීමට අවශ්ය ක්රියාමාර්ග ගත යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.
පසුගිය ජුනි මාසයේදී ඩෙංගු රෝගීන් 21,500ක් වාර්තා වූ අතර, ජූලි මාසයේදී එම සංඛ්යාව 29,967ක් දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, අගෝස්තු මාසයේදී රෝගීන් සංඛ්යාව 10,155ක් දක්වාත්, සැප්තැම්බර් මාසයේදී 5,130ක් දක්වාත් අඩු කර ගැනීමට හැකි වූ බවද ඔහු පැවසීය.
එළඹෙන ඊසානදිග මෝසම් වැසි සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදුරුවන්ගේ ජීවන චක්රයට අවශ්ය ජලය පරිසරයේ එක්රැස් වීමේ හැකියාව පවතින බැවින්, වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය ව්යාප්ත වීමේ අවදානමක් පවතින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මේ වන විට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් වාර්තා වී නොමැති බවත්, මීට පෙර අධි වසංගත තත්ත්වයක් ඇති වූ පසුබිමක මර්දන කටයුතු ආරම්භ කිරීමට සිදු වූ නමුත්, මෙවර කල්තියා පරිසරය පිරිසිදු කිරීම ඇතුළු අවශ්ය ක්රියාමාර්ග ගැනීමෙන් රෝගීන් සංඛ්යාව තවදුරටත් අඩු කර ගැනීමට හැකි වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
නිවාස පරිශ්රවලට අමතරව රාජ්ය ආයතන, කර්මාන්තශාලා සහ වැඩබිම් ආශ්රිතවද ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක් පවතින බැවින්, එම පරිශ්ර පිරිසිදුව තබා ගැනීමට සියලු පාර්ශ්වයන් අවධානය යොමු කළ යුතු බවද අවධාරණය කෙරිණි.
ඩෙංගු මර්දනය සඳහා ජනතාව දැනුවත් කිරීම සහ පරිසරය පිරිසිදුව තබා ගැනීමට ඔවුන් පෙළඹවීම මේ අවස්ථාවේදී ඉතා වැදගත් බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
