මෙරට විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය පවත්වාගෙන යාමේදී ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ ප්‍රධාන දුර්වල කමක් වුයේ රට පුරා විදුලිය බිඳ වැටීමකදී බලාගාරයේ සිසිලන පද්ධතියට සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියට ආධාරක විදුලි සැපයුම අකර්මන්‍යය වීමයි. එවැනි තත්වයකදී සිසිලනය සඳහා දින හතරක හෝ පහක කාලයක් මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට සිදු වීමයි. එ නිසා සැළකිය යුතු මූල්‍ය අලාභයක් ද සිදු වේ.
මේ තත්ත්වය වලක්වා ගැනීම සඳහා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ උපදෙස් අනුව තාක්ෂණික වශයෙන් යෝග්‍ය විසඳුමක් සොයා බැලීම පිණිස කමිටුවක් පත්කරන ලද අතර එකී කමිටුව විසින් අත්‍යවශ්‍යය පද්ධති සඳහා කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කළ හැකි සහ නොකඩවා ක්‍රියාත්මක වන ආධාරක උප විදුලිබල සැපයුමක් හඳුන්වාදීම සුදුසු බව යෝජනා කෙරුණි.
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ අරමුදල් යොදා ගනිමින් ධාරිත්‍රික සිසිලන පද්ධතිය සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතිය සඳහා ආධාරක විදුලිබල සැපයුමක් ක්‍රියාවට නැංවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.
තවද පසුගිය 2025-08-21 දින පාර්ලිමේන්තුවේදී පැන නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය පවත්නාගෙන යාම සඳහා ගතයුතු අත්‍යවශ්‍ය පියවරක් ලෙස අමාත්‍යවරයා මෙම කරුණද ඉදිරිපත් කළ බව සඳහන් කළ යුතුය.