නොබෙල් සාම ත්‍යාගය පිල්ලේට දීම ගැන ට්‍රම්ප් යළිත් අප්‍රසාදය පළකරයි
තමන්ට නොබෙල් සාම ත්‍යාගය නොලැබීම පිළිබඳව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් සිය අප්‍රසාදය පළ කර ඇති අතර, මේ වසරේ ගත් තීරණය "අපකීර්තිමත් සහ ලැජ්ජා සහගත" එකක් බව ඔහු පැවසීය.
මෙම ත්‍යාගය පසුගිය සිකුරාදා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ හිටපු විනිසුරු නවි පිල්ලේ වෙත පිරිනමන ලදී. එම තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසු, නිව් යෝර්ක් හි සිරකියුස්හි පැවති රැළියක් අමතමින් ට්‍රම්ප් කියා සිටියේ එම "අභිරහස් පුද්ගලයා" ගැන තමන් "කිසි දිනෙක අසා නොතිබූ" බවයි.
"මෙය නෝර්වේ රාජ්‍යයට මකා දැමිය නොහැකි කැළලක්," යැයි පැවසූ ඔහු, "අපි මෙය අමතක නොකරන්නෙමු" යැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ත්‍යාගය දිනා ගැනීමේ සිය අභිලාෂය පිළිබඳව ට්‍රම්ප් මීට පෙරත් විවෘතව අදහස් දක්වා ඇති අතර, වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ වෙත එය පිරිනැමුණු අවස්ථාවේදී ද ඔහු මෙවැනිම විවේචන එල්ල කර තිබුණි.
ත්‍යාගලාභියා තෝරා ගනු ලබන්නේ නෝර්වේ රජය විසින් නොව, එරට පිහිටි ස්වාධීන කමිටුවක් විසින් බව නෝර්වේ අගමැති ජොනාස් ගාර් ස්ටෝරේ පසුගිය වසරේදී ට්‍රම්ප්ට පැහැදිලි කර දී තිබුණි.
නිව් යෝර්ක් හි සිරකියුස් හි පැවති සිය ආධාරකරුවන්ගේ රැළියක් අමතමින් තමන් යුද්ධ අටක් විසඳූ බවත් තවත් යුද්ධ දෙකක් "විසඳීමට හෝ ජයග්‍රහණය කිරීමට ආසන්නව සිටින" බවත් ට්‍රම්ප් නැවත වරක් ප්‍රකාශ කළේය.
"ප්රජාතන්ත්රවාදයට විරුද්ධ සහ සැබවින්ම ශිෂ්ටාචාරයේ සතුරන් වන අන්තවාදී මතධාරීන් පිරිසක් විසින් නොබෙල් සාම ත්‍යාගයේ කීර්තිනාමය සදහටම විනාශ කර දමා තිබෙනවා," යැයි ඔහු පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා ලෙස කටයුතු කළ පිල්ලේ, "සාමය සහ ජාත්‍යන්තර නීතිය ප්‍රවර්ධනය කිරීම සඳහා දැරූ උත්සාහය" වෙනුවෙන් ඇගයීමට ලක් වූ බවත්, එමගින් "වඩාත් පුළුල් ගෝලීය නීතිමය ක්‍රමවේදයක්" සඳහා මග පෑදුණු බවත් නොබෙල් කමිටුව ප්‍රකාශ කළේය.
"යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහතික කිරීමෙහිලා" මෙම දකුණු අප්‍රිකානු ජාතිකාවගේ කාර්යභාරය "ඉතා වැදගත්" වූ බව නෝර්වීජියානු නොබෙල් කමිටුවේ සභාපති ජොර්ගන් වට්නේ ෆ්‍රයිඩ්නස් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

