කිරුළපන කාන්තා නේවාසිකාගාරයක රැඳී සිටින දැරියන් රැසකට ලිංගික අතවර කළ බව කියන 63 හැවිරිදි දේව ගැතිවරයෙකු අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලිසිය කියයි.
අසභ්‍ය දර්ශන අඩංගුව තිබූ සැකකරු පරිහරණය කළ ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන ඇත.
නේවාසිකාගාරයේ රැඳී සිටි 23 හැවිරිදි තරුණියක් සහ වයස අවුරුදු 11 සහ 18 අතර පසුවන දැරියන් 8 දෙනකු කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇත.
එම දැරියන් අතර පවුල් තුනක සහෝදරියන් හය දෙනෙකු වන බව පොලිස් නිලධාරිනියක් පැවසුවාය.
නේවාසිකාගාරයේ දේව ගැතිවරයා ලිංගික අතවර කළ බව දැරියක් විසින් ඇය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිනියට මීට දින කීපයකට ඉහතදී පැවසීමෙන් අනතුරුව විදුහල්පතිනිය විසින් 1929 දුරකථන අංකය හරහා කිරුළපන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මූලික විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ලද පැමිණිල්ල අනුව එම නේවාසිකාගාරය වෙත ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ විමර්ශනවලදී එහි රැදි සිටින 23 හැවිරිදි , තරුණිය රැකියාවක් සිදුකරන බවත් අනෙක් දැරියන් අටදෙනා පාසල් යන බවත් අනාවරණය වූ බව පොලිසිය කියයි.
දැරියන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තවත් දැරියන් සිව් දෙනෙකුට සැකකාර දේවගැතිවරයා ලිංගික අතවර කර ඇති බවත් අතර තවත් දැරියකට ඔහු පරිහරණය කරන ජංගම දුරකථනයේ ඇතුළත් අසභ්‍ය දර්ශන පෙන්වා ලිංගික අතවර කල බවට අනාවරණය විම හේතුවෙන් සියලුම දෙනා රෝහල් ගත කිරීමට පියවර ගත් බව පොලිස් නිලධාරිනිය වැඩිදුරටත් පැවසුවාය.
කිරුළපන පොලිස් වසමේ දේවස්ථානයකට අනුබද්ධ මෙම නේවාසිකාගාරය ලියාපදිංචි නොකර නිති විරෝධී අයුරින් පවත්වාගෙන යන එකක් බවට මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
දැරියන්ට ලිංගික අතවර කළ සැකකාර දේව ගැතිවරයාට උදව් උපකාර කළ තවත් පුද්ගලයන් සිටීදැයි සොයා දීර්ඝ විමර්ශන සිදු කරන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
කිරුලපන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක් ද සිල්වා මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක තමරා නිල්මිණී මහත්මිය ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.