නුවරඑළියේ ජල හා මලාප්රවාහන ගැටලුවට රු. බිලියන 25.1ක ව්‍යාපෘතියක්
දීර්ඝ කාලයක සිට නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙමින් සිටින පිරිසිදු පානීය ජල ගැටලුවට මෙන්ම ක්‍රමවත් මළ අපවහන පද්ධතියක් නොමැතිවීමේ ගැටලුවටද විසඳුම් ලබාදීම සඳහා රුපියල් මිලියන 25,100ක ප්‍රතිපාදන වෙන් කර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ (05) නුවරඑළිය මහ නගර සභාවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
නුවරඑළිය නගරයේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සහ නගරයේ අපජල හා මළ අපවහන ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බව නගරාධිපතිවරයා සඳහන් කළේය.
නුවරඑළිය මහ නගර සභාවේ ජල ඒකකය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට පැවරීම සම්බන්ධයෙන් පසුගිය මාසයේදී මහ නගර සභාවේ දැඩි කතාබහක් ඇති වූ අතර, එම යෝජනාවට විපක්ෂ මන්ත්‍රීවරු කළු පටි පැළඳ සභාවට පැමිණ විරෝධය පළ කළහ.
ජල ඒකකය මහ නගර සභාවට ආදායම් උත්පාදනය කරන වැදගත් සම්පතක් බව පවසමින් එය පැවරීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කර තිබිණි.
එම අවස්ථාවේදී නගරාධිපති උපාලි වනිගසේකර මහතා සඳහන් කර තිබුණේ යෝජිත ජල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්, නිලධාරීන් සහ මහජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව ඉදිරි සභා වාරයකදී අදාළ යෝජනාව ඉදිරිපත් කරන බවයි.
මේ අතර නුවරඑළිය නගරයේ ජල හා අපජල ගැටලුව ග්‍රෙගරි වැවේ පාරිසරික තත්ත්වය සමඟද සෘජුව සම්බන්ධ වී තිබේ.
ග්‍රෙගරි වැව සහ ඒ අවට ප්‍රදේශය 2007 මාර්තු 5 දිනැති අංක 1487/10 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ ග්‍රෙගරි වැව වැදගත් තෙත්බිම් පරිසර පද්ධතියක් වන අතර නාගරික හා කෘෂිකාර්මික අපද්‍රව්‍ය හේතුවෙන් එහි ජල දූෂණ තත්ත්වයක් පවතින බවයි.
පසුගිය කාලයේදී ග්‍රෙගරි වැවේ ඇල්ගී ව්‍යාප්තිය ඇතුළු ජල දූෂණ තත්ත්වය සම්බන්ධයෙන්ද අවධානය යොමු වූ අතර, වැවේ ජල තත්ත්වය හා පාරිසරික අඛණ්ඩතාව පවත්වාගෙන යාම සඳහා පුනරුත්ථාපන හා කළමනාකරණ යාන්ත්‍රණයක් සකස් කිරීමටද රජයේ අවධානය යොමුව තිබේ. 2026 සැප්තැම්බර් මාසයේදී මේ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා විය.
එම පසුබිම යටතේ නුවරඑළිය නගරයේ පානීය ජල සැපයුම විධිමත් කිරීමත්, මළ අපවහන හා අපජල කළමනාකරණය සඳහා ස්ථිර පද්ධතියක් ස්ථාපිත කිරීමත් නගරයේ ජනතාවගේ සෞඛ්‍යය මෙන්ම ග්‍රෙගරි වැව ඇතුළු පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහාද වැදගත් වනු ඇතැයි නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිත අතර, නුවරඑළිය නගරයේ දීර්ඝකාලීන ජල හා මළ අපවහන ගැටලුවට මෙම ව්‍යාපෘතිය මඟින් විසඳුම් ලැබෙනු ඇතැයි නගරාධිපති උපාලි වනිගසේකර මහතා පැවසීය.
ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
