දක්ෂිණ අධිවේගී මාර්ගයේ 2.5 කිලෝමීටර් කණුව ආසන්නයේ රක්ෂිතයට යාබද වෙල් යායක ඉතා සූක්ෂම ලෙස මහා පරිමාණයෙන් නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ගෝඩා මිලිලීටර් නව ලක්ෂ හැටදහසක් නීති විරෝධී මත්පැන් මිලිලීටර් තිස් තුන්දහසක් උපකරණ තොගයක් සමග පුද්ගලයකු අද (29දා) අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි .
අත්අඩංගුවට ගත් ගෝඩා සහ නීති විරෝධී මත්පැන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකට ආසන්න බව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම නියදගල පදිංචි " නියදගල පිස්කල් " නමැති 63 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ නියදගල ගුවන් පාලම අසල වෙල්යායක ඉතා සූක්ෂම ලෙස නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන යන බවට හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක තුසිත වික්රමරත්න මහතාට ඉකුත්දා තොරතුරක් ලැබී තිබුණි .
ඒ අනුව නිලධාරීන් කණ්ඩායමක් නියදගල ගුවන් පාලම අසල වෙල් යායක් පරික්ෂා කිරීමේදී එහි ස්ථාන පහක පොලොව යට ඉතා සූක්ෂම ලෙස ගෝඩා නිෂ්පාදනය සඳහා බහා තිබූ බැරල් පහක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
මෙම බැරල් පොළොව යට තැනින් තැන වළලා තිබූ අතර ඒවා පිටතට නොපෙනෙන සේ පිටතින් ආරක්ෂිතව වසා දමා තිබූ බව ද පැවසේ . ඒ අනුව පොළොව යට වළලා තිබූ බැරල් පිටතට ගත් අතර ඒ තුළ ගෝඩා නිෂ්පාදනය සඳහා දමා තිබූ ගෝඩා මිලිලීටර් නව ලක්ෂ හැටදහසක් පොලිස් භාරයට ගෙන තිබේ.
පසුව එම ස්ථානය තවදුරටත් පරීක්ෂා කිරීමේදී ඊට යාබද ස්ථානයක තිබී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිතා කරන උපකරණ තොගයක් ද සොයා ගැනිණි .
ඒ අතර ගින්දර පිටතට නොපෙනෙන සේ යකඩ බැරලයකින් සකසන ලද දර ලිපක් ,දගරයක්, බැරල් හයක් , නීති විරෝධී මත්පැන් මිලිලීටර් 33,000 සොයාගැනීමට හැකිව තිබේ.
මෙම ජාවාරමට සම්බන්ධ සැකකරු වසර 20 ක සිට මෙම ජාවාරමේ නිරත අයකු බවත් අවස්ථා ගණනාවකදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වරදකරුවකු වූ පුද්ගලයෙකු බවත් පොලිසිය පවසයි .
එසේම පෞද්ගලික බස් රථ හිමිකරුවකු වන සැකකරු හෝමාගම කොට්ටාව ඇතුළු අවට ප්රදේශවල ඉන්ධන පෝලිම් වල රැඳී සිටින ජනතාවට අලෙවි කිරීම සඳහා මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කර ඇති බවට පොලිසිය සැක කරයි.
පොලිස් භාරයට ගත් නීති විරෝධී මත්පැන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකට ආසන්නය.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (30) දා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
මත්තේගොඩ ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න
