නීතිය සැමදෙනාටම එකයි
නීතිය පාලකයාටත්, දේශපාලනඥයාටත්, රාජ්‍ය නිලධාරියාටත්, සාමාන්‍ය පුරවැසියාටත් එකයි යන්න මතක තබාගත යුතු යැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බදවා ගත් 265 දෙනෙකුගෙන් සමන්විත 13 වන ආධුනික දෙවන පෙළ ජේලර් හා 105 වන ආධුනික නියාමක පුහුණු පාඨමාලා ද්විත්වයේ නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවෙමිනි.
ආධුනික නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවය සහ පෙළපාලිය අගුණකොලපැලැස්ස බන්ධනාගාර පුහුණු ආයතන ක්‍රිඩාංගණයේ අද (19) පෙරවරුවේ පැවති අතර, එහිදී ආධුනික ජේලර් නිලධාරීන් 37 දෙනෙකු, ආධුනික කාන්තා නිලධාරීන් 05 දෙනෙකු, ආධුනික නියාමක නිලධාරීන් 197 දෙනෙකු, කාන්තා නියාමක නිලධාරීන් 25 දෙනෙකු විසිරයාම සිදු විණි.
"රාජ්‍ය සේවයේ සිටින අප හැමෝම මතක තබාගත යුතු මූලික කරුණක් තිබෙනවා. නීතිය කාටත් එක හා සමානයි. පාලකයාටත් එකයි. දේශපාලනඥයාටත් එකයි. රාජ්‍ය නිලධාරියාටත් එකයි. සාමාන්‍ය පුරවැසියාටත් එකයි.
නීතියේ ආධිපත්‍යය කියන්නේ බලය තිබෙන පුද්ගලයාට වෙනම නීතියකුත්, බලය නැති පුද්ගලයාට වෙනම නීතියකුත් තිබීම නොවෙයි. සියලු දෙනාට නීතිය සමානව ක්‍රියාත්මක වීමයි. එම විශ්වාසය රාජ්‍ය ආයතන කෙරෙහි ජනතාවගේ විශ්වාසය ගොඩනගන මූලික පදනමක්. ඒ නිසා ඔබට අවශ්‍ය වන්නේ දේශපාලන සම්බන්ධතාවයක් නොවෙයි. බලපෑමක් නොවෙයි.
ඔබට අවශ්‍ය වන්නේ නීතිය පිළිබඳ විශ්වාසය හා ඔබේ රාජකාරිය පිළිබඳ අවංකභාවයයි. ඔබ අද භාරගන්නා නිල ඇඳුම ඒ වගකීමේ සංකේතයක්. අප මතක තබාගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. අපරාධයක් සිදුවූ විට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එය අත්‍යවශ්‍යයි. නමුත් දඬුවමෙන් පමණක් සමාජයක අපරාධ ප්රශ්නය විසඳන්න බැහැ. බන්ධනාගාර ප්‍රතිපත්තිය දඬුවමෙන් අවසන් නොවී නිවැරදි කිරීම, පුනරුත්ථාපනය සහ නැවත සමාජගත කිරීම දක්වා ගමන් කළ යුතුයි. යමෙක් බන්ධනාගාර ගතවන්නේ තමන්ගේ වැරැද්දක් පමණක්ම නොව දීර්ඝ කාලයක් සමාජ ආර්ථික පද්ධතියේ පැවති පැවති වැරැද්දක් නිසා. සමාජය වෙනස් නොකර අපට බන්ධනාගාර පමණක් පාරිශුද්ධ ස්ථාන කරන්න බැහැ."

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

