නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වාහන අවභාවිතක් කරන බවට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද මාධය හමුවකදී හෙළිදරව්වක් කළේය. ඔහු තමාගේම වාහනය භාවිත කරමින් නිවාස සංවර්ධන අධිකාරියෙන් වාහන දීමනා ලබන අතරරේ රාජකාරී වැඩ සඳහා නිවාස සංවර්ධන අධිකාරියේ සංචිතයේ ඇති වාහන භාවිත කරමින් සිටින බව උදය ගම්මන්පිල මහතා චෝදනා කළේය.
"සංස්ථා සභාපතිලා නමෝ විත්තියෙන්ම සොරකම පටන් අරගෙන බවට අපට සාක්ෂි ලැබිලා තිබෙනවා. රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක 1/2015 හී 3.4 ඡේදය අනුව සභාපතිවරයෙකුට නිල වාහනය වෙනුවට තමන්ගේම වාහනයක් පාවිච්චි කරන්න පුළුවන්. එ සඳහා දීමනාවක් ගෙවනවා. හැබැයි රියදුරෙක් ලබා ගන්නත් බෑ.
ආයතනයේ වෙනත් වාහන පාවිච්චි කරන්නත් බෑ. ඒ අනුව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා තමන්ගේ වාහනය භාවිතා කරමින් ප්‍රවාහන දීමනාව ගන්න තීරණය කරනවා. ඒ අතරේ කාර්යාලයට පැමිණියාට පස්සේ සංචිතයේ වාහන භාවිතා කරමින් තමයි ගමන් බිමන් යන්නේ. ඒ බව සනාථ කරන්න වාහන ධාවන පත්‍රිකා නැතිනම් රනින් චාට්ස් මා ගාව තිබෙනවා. ආ ගිය තොරතුරු හෙලි කලාම පෞද්ගලිකත්වයට හානි වන නිසා ඒවා මම අද ප්‍රසිද්ධ කරන්නේ නෑ. එහෙම ගියේ නෑ කිව්වොත් විතරක් මම ඒවා හෙලි කරනවා.
ඒකත් කමක් නෑ කියමුකෝ. 2025 අප්‍රේල් 30 දින පැවැති අධ්යක්ෂ මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකා අංක 11826 අනුව සභාපතිතුමාගේ පාවිච්චිය සඳහා දැනටමත් CAR 7022 දරණ මෝටර් රථය රු 205,000 මාසික කුලියකට ලබා ගෙන තිබෙනවා.
එදාම වෙනත් කරුණු යටතේ සභාපතිවරයාට තමන්ගේ වාහනය රාජකාරි සඳහා භාවිතා කිරීමටත් කාර්යාලයෙන් බැහැර රාජකාරි සඳහා සංචිතයෙන් වාහනයක් ලබා දීමටත් තීරණය කරනවා. ඒ වගේම සභාපතිගේ පෞද්ගලික වාහනයට සංචිතයෙන් රියදුරෙකු ලබා දෙන්නත් තීරණය කරනවා.
මේ තීන්දු දෙකම රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක 1/2015 ට පටහැනියි. ඒ කියන්නේ නීති විරෝධියි. ඒ වාහන දෙකම භාවිතා කරන අතරේ 2025 මැයි 2 දා පීඊ 1537 කියන සංචිත වාහනයත් භාවිතා කළ බවට සාක්ෂි තිබෙනවා. ඒ කියන්නේ දැන් එතුමාට වාහන 3යි. ඔන්න නිවාස ඇමතිතුමනි මේ ඔබේ අවදානය පිණිසයි ඔබලා වේදිකාවේ කෑ මොරදෙන අවංකභාවය ක්‍රියාවෙන් ඔප්පු කරන්න අපෙන් ඔබට අවස්ථාව.
ගරු නිවාස ඇමතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.ඇමතිවරුන්ටත් වාහන දෙකක් දෙන විට සභාපතිට වාහන තුනක් මොකටද? ඒ වගේම අපිත් සභාපතිකම් උපදේශකකම් ඇමතිකම් ආයතන ගණනාවක දරලා තිබෙනවා. කවදාවත් හිමි දෙයකට වඩා ශතයක්වත් අවභාවිතා කරලා නෑ. පසුගිය මාස අට පුරාම මගේ යටතේ තිබුණු ආයතන වල ලිපි ගොනු අරගෙන ගිහින් කණ්ඩායම් දාලා පරික්ෂා කළත් ආණ්ඩුවට අයිති බෝලපොයින්ට් පෑනක්වත් ගෙදර ගෙන ගිය බව සොයා ගන්න බැරි වුණා. ඒ නිසා තමයි ආණ්ඩුවේ වැරදි දෙයකට වැරදියි කියන්න අපට පෞරුෂත්වයක් තිබෙන්නේ."