නිව්ඩාව-සිට පානදුර දක්වා ධාවනය වන ලංගම බස් රථයට අරුක්ගොඩ කිරිබේරිය ප්‍රදේශයේදී යතුරුපැදියෙන් මග හරස් කර එහි රියදුරුට ආරක්ෂක හිස්වැස්ම කින් සහ අතින් පයින් පහර දුන් තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය පවසයි.
රියදුරු ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් වී ඇත
බස් රථය නිව්ඩාව සිට පානදුර දක්වා ධාවනය කිරීමේදී අරුග්ගොඩ වෙල ගහවත්ත ප්‍රදේශයේදී බස්රථ ඉදිරියට අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් පෙරළි අනතුරට ලක් වී තිබූ බව පොලිසිය කියයි.
එහිදී තරුණයන් දෙදෙනාට තුවාල සිදුවී තිබූ අතර යතුරු පැදියට අලාභ සිදු වී තිබිණි.
යතුරුපැදිය බස් රථයේ නොගැටී අනතුර සිදු වුව ද සැකකාර තරුණයන් දෙදෙනා රියදුරු අමතා "අනිත් එවුන් පාරේ යන්නේ නැද්ද ඇයි අසා " පෙරළුණු යතුරුපැදිය යථා තත්ත්වයට පත් කරගෙන බස් රථයේ පිටුපස කිලෝමීටර් භාගයක් පමණ හඹා විත් කිරිබේරිය ප්‍රදේශයේ දී මඟ හරස් කර රියදුරුට අතින් පයින් සහ පැලඳගෙන සිටි ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ,කොන්දොස්තරවරයා ගේ ගෙල පෙදෙසින් අල්ලා තල්ලු කර තිබූ බව පොලිසිය පැවසීය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා සිද්ධිය වී පැය දෙකක කාලයක තුළදී සැකකරුවන් දෙදෙනා අරුක්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අදාළ පහරදීම හේතුවෙන් බස් රථයට නිව්ඩාව සහ පානදුර අතර ධාවනය වීමට තිබූ ගමන් වාර හතක් අවලංගු කිරීමට සිදුවූ බවත් ඒ හේතුවෙන් සිදු වූ පාඩුව රුපියල් 11466 මුදලක් බවට සඳහන් කරමින් පානදුර ඩිපෝවේ මාර්ග අනතුරු විමර්ශන නිලධාරී කේ ජේ ද සිල්වා මහතා විසින් වාර්තාවක් පොලිසිය වෙත ඉදිරිපත් කළ බව විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීහු පැවසීය.
සැකකරුවන් දෙදෙනා වයස 22හා23 අතර පසුවන පානදුර සාගර මාවත හා අරුක්ගොඩ යශෝධරා ආරාම පාර පදිංචිකරුවන් ය.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ / පානදුර සුමිත් පොතුපිටිය