එලැඹෙන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී තමා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉවත් වීමට තීරණය කල බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.
අද (15) විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසමින් ඔහු සඳහන් කලේ එලැඹෙන 19 වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලි තීරණයක් ගත්තා ජනතාව මේ වකවාණුවේ විඳින අසීමිත දුක, දවස් ගණන් පොලිම්වල ඉඳලා ඔවුන් විඳින පීඩාව, පාරට බැහැලා ජනතාව රජයට දෙන පණිවිඩය වඩාත් ශක්තිමත් කල යුතුයි ඒක ඉතාමත් දැනෙන භාෂාවකින් රජයට කියන්න අවශ්‍යයි කියලා. ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කලේ රජයේ දරණ සියලු මැති ඇමති තනතුරුවලින් ඉවත්වෙලා ස්වාධීනව ඉන්නවා කියන එක නමුත් ඒ මොහොතේ පක්ෂය තීරණයක හිටියා නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති තනතුරත් තියන්නේ අපේ පක්ෂයට මේ තනතුරු දෙක ස්වාධීන වෙන්න ඕනේ නෑ කියලා. හැබැයි මට අවශ්‍ය වුනා අඩියක් ඉදිරියට තියලා මේ තනතුරුවලින් අයින් වෙලා රජයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දෙන පණිවිඩය වඩාත් ශක්තිමත් කරන්න. ඒ අවස්ථාවේදීම මම මෙම තනතුරුවලින් අයින් වුනා නම් ඊලඟ දවසේ පාර්ලිමේන්තුවේ ප්‍රධානම කාර්ය වන්නේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ අංක එක නියෝජ්‍ය කතානායකවරයෙකු පත්කර ගැනීම ඒ සඳහා ජන්ද විමසීමකට යන්න වෙනවා පාර්ලිමේන්තුවේ ඒ සතියේ තිබුනු අර්බුද එක්ක ඒක මහා විශාල ප්‍රශ්නයකට තුඩු දෙන්න තිබුණා. ලබන 19 රැස්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී පමණයි මම නියෝජ්‍ය කථානායක ධූරය දරන්නේ පාර්ලිමේන්තුව නැවත රැස් වෙන්නේ මැයි මාසේ 04 වැනිදා එදින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ අංක එකට එන්නේ නියෝජ්‍ය කථානායකවරයෙකු පත්කර ගැනීම" යැයි ඔහු පැවසීය