නියමුවන් රහිත මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා සේවාව අත්හදා බැලිම සාර්ථකයි
ශ්‍රී ලංකාව තුළ නියමුවන් රහිත විදුලියෙන් බලගැන්වෙන මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා සේවාව හඳුන්වා දීමේ මූලික පියවරක් ලෙස, එහි පළමු නිල නිරූපණ අත්හදා බැලීම අද (11) කොළඹ වරාය නගර පරිශ්‍රයේදී සිදු කෙරිණි.
මෙම ව්‍යාපෘතිය සඳහා චීනයේ ‘EHang’ (යී හැන්ග්) සමාගම විසින් නිෂ්පාදිත, ධාවන පථයක අවශ්‍යතාවකින් තොරව සිරස් අතට ගුවන්ගත වීමට හා ගොඩබැසීමට හැකි (eVTOL) වර්ගයේ මගී ඩ්‍රෝන යානා යොදා ගනු ලබයි.
මෙහි පළමු නිල නිරූපණ අත්හදා බැලීම සිදුවූයේ අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
ඒ අනුව මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා පළමු පරීක්ෂණ පියාසැරියට එක්වීමට අමාත්‍ය අනුර කරුණාතිලක මහතාට මෙහිදී අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.
මගීන් දෙදෙනෙකුට ගමන් කළ හැකි ‘E216’ වර්ගයේ ඩ්‍රෝන යානයක් මේ සඳහා මේ වන විටත් මෙරටට ගෙන්වා ඇති අතර, පසුගිය අගෝස්තු මාසයේදී වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සහ චීන නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම කටයුතු ආරම්භ විය.
මෙම ව්‍යාපෘතිය මුල් අදියරේදී, කොළඹ වරාය නගර පරිශ්‍රයේදී මාස හයක කාලයක් පරීක්ෂණ මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ප්‍රචාලක 16කින්, බැටරි කට්ටල 12කින්, පියාසැරි පාලන පද්ධති තුනකින් සහ ඒකාබද්ධ පරිගණක පද්ධතියකින් සමන්විත මෙම යානය, මධ්‍යම පාලන මධ්‍යස්ථානයක් හරහා දුරස්ථව මෙහෙයවනු ලබයි.
එමෙන්ම, හදිසි සන්නිවේදන බිඳවැටීමකදී ස්වයංක්‍රීයව ආරක්ෂිතව ක්‍රියාත්මක වීමේ නවීන තාක්ෂණික ආරක්ෂක යාන්ත්‍රණ ද මෙයට ඇතුළත්ය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.