දකුණු පළාතේ ඉඩමක් විකිණීමට පුවත්පතක පළ කර තිබූ දැන්වීමක දුරකථන අංකයකට ඇමතුමක් ලබාදී, එම ඉඩම මිලදී ගන්නා බවට හිතවත්කමක් ඇති කර ගෙන එම ඉඩම් හිමිකාර විශ්‍රාමික ගුරුවරිය අනුරාධපුරයට ගෙන්වා රුපියල් ලක්ෂ දහයකට වැඩි මුදලක් රැගෙන පළා ගිය පියෙකු සහ පුතෙකු අත්අඩංගුවට ගැනීමට ඊයේ (28දා) විමර්ශන ආරම්භ කල බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
නිධානයකින් ගොඩ ගත් රන් බඩු තොගයක් තමා ළඟ තිබෙන බවත්, ඒවා විකුණා මුදල් කර ගැනීමෙන් පසු එම ඉඩම මිලදී ගැනීමට හැකි බව සැකකරු පැවසීමෙන් අනතුරුව අදාළ ඉඩම් හිමි විශ්‍රාමික ගුරුවරිය මෝටර් රථයකින් සිය සැමියා සහ රියදුරු සමග අනුරාධපුරයට පැමිණ රුපියල් ලක්ෂ දහයකට වැඩි මුදලක් ලබාදී, රත්‍රං යයි සිතා එම භාණ්ඩ මිලදී ගෙන ඇති බව පොලීසිය කියයි.
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි පියෙකු සහ පුතෙකු ලෙස පෙනී සිටි සැකකරුවන් දෙදෙනා අදාල ගුරුවරිය සහ ඇගේ සැමියා අනුරාධපුර කඩ දොලහ ප්‍රදේශයට ගෙන්වා ගෙන මෙම ගනු දෙනුව සිදු කර ඇති බව පොලීසිය කියයි.
අතුරු අන්තරාවක් නොවී ජීවත්වීමට නම් එම නිදන් වස්තු විකුණා ලැබෙන මුදලින් හරි අඩක් දෙවියන් හට පූජා කල යුතු බවත්, ඒ සඳහා පූජාව සිදු කරන තෙක් මෙම මුදල් වියදම් කිරීමට නොහැකි බව පැවසූ සැකකරුවන් දෙදෙනා, නිධානය හැරීමට මාස ගණනාවක් වෙහෙස වූ බව පවසමින් අත්වල ඇති කර ගැට පවා පෙන්වා, ව්‍යාජ රංගනයක යෙදී මෙම මුදල් වංචාව සිදු කර ඇතැයි පොලිසිය පැවසීය.
දේව පූජාවක් සිදු කිරීමට නියමිත බව සැකකරුවන් පැවසීම හේතුවෙන් ඒ පිළිබඳව දැඩි විශ්වාසයක් තැබූ පැමිණිලිකාර විශ්‍රාමික ගුරුවරිය එම පූජාව සදහා අවශ්‍ය පළතුරු,මී කිරි ලබාදී, අනෙකුත් පූජා භාණ්ඩ ලබා ගැනීම සදහා සැකකරුවන් හට වෙනම මුදලක් ලබාදී ඇතැයිද පොලීසිය සඳහන් කළේය.
ගණුදෙනු අවසන් වීමෙන් අනතුරුව සැකකරුවන් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර පසුව අදාළ ගුරුවරිය සහ සැමියා විසින් නැවත වරක් එම භාණ්ඩ පරීක්ෂාකර බැලීමේදී ගනුදෙනුව සිදු වීමට පෙර පෙන්වූ රන් භාණ්ඩ එහි නොමැති බවත්, රන් පැහැ ගැන්වූ ව්‍යාජ ලෝහ කැබලි තොගයක් පමණක් එහි ඇති බවත් දැන ගැනීමෙන් අනතුරුව අදාළ විශ්‍රාමික ගුරුවරිය අනුරාධපුර මූලස්ථාන පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් ඇතැයි පොලීසිය සඳහන් කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.