තමා පදිංචි ඉඩම සහ නිවස උකස් කර ලබා ගත් ලක්ෂ 8 ක මුදලකින් නිධන් වස්තු තොගයක් මිලදී ගැනීමට ගිය යුද හමුදා සෙබළකුගේ එම මුදල් වංචා කර පලා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (31දා) විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.
වංචාවට හසු වූ මෙම සෙබලා මහනුවරට යාබද යුද හමුදා කඳවුරක සේවයේ නියුතු තිස් හැවිරිදි පොලොන්නරුව ප්රදේශයේ පදිංචි අයෙකු බවත් පොලිසිය කියයි.
සැකකරු, තමාගේ මාමා කළු ගල් කැඩීමේ වැඩ පොළක් පවත්වා ගෙන යන බවත්, කළු ගලක් කැඩීමේදී ඒ තුළ තිබී රත්තරන් කාසි කිලෝ 12ක් හමු වූ බවත් එම රත්රන් තොගය මාමාගෙන් ලක්ෂ පනහකට ලබා ගෙන රුපියල් කෝටියකට වැඩි මුදලකට විකුණා ගත හැකි යැයි පැවසූ බව හමුදා සෙබලා විසින් සිදු කළ පැමිණිල්ලේ සඳහන් වෙන බව පොලීසිය කියයි.
එම රත්තරන් තොගය මිලදී ගැනීමට ගැණුම්කරුවෙකු සොයා නොදුන් නිසා, රත්රන් ග්රෑම් දෙසීයක් ලක්ෂ අටකට හමුදා සෙබලාට ලබා දීමට සැකකරු එකඟ වීමෙන් අනතුරුව, පසුගිය දිනෙක අනුරාධපුර දහයියාගම හන්දිය ආසන්නයට පැමිණි හමුදා සෙබලා එම කාසි තොගය පරික්ෂා කර බලා නියම රන් බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් ඇති බවද පොලිසිය කියයි.
අනතුරුව හමුදා සෙබලා කඳවුරේ සිට පොළොන්නරුවේ සිටින තම මවට ඇමතුමක් ලබා ගෙන තම පදිංචි ඉඩම උකස් කර ලක්ෂ 8 ක මුදලක් ගෙන්වා ගෙන, ඊයේ (31දා) අනුරාධපුරයට නැවත වරක් පැමිණ පුබුදුපුර ප්රදේශයේදී ලක්ෂ 8 ක මුදල ලබාදී රන් තොගය මිලදී ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේය.
ගනු දෙනුව සිදු වන ස්ථානයට පොලිසිය පැමිණෙතැයි බියෙන් රත්තරන් අඩංගු මල්ල රැගෙන වහා එම ස්ථානයෙන් පිටව ගිය බවත් අනුරාධපුර පොලිස් වසමෙන් පිටවූ පසු ගල්කුලම ප්රදේශයට ගොස් එය පරීක්ෂා කර බැලීමේදී මුලින් පෙන්නූ රන් කාසි එහි නොතිබූ බවත් දැනට භාවිතයේ පවතින සිල්ලර කාසි තොගයක් පමණක් ඇති බව දැන ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව පැමිණිල්ලක් සිදු කර ඇතැයි පොලීසිය කියයි
ඒ අනුව මෙම ජාවාරම්කරු සම්බන්ධ කර දුන් කඳවුරේම සේවය කරන තවත් සෙබළකු සහ එම ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.
අනුරාධපුර මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතාගේ උපදෙස් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පිරිසක් මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කරති .