තම නැන්දම්මාට අයත් ලක්ෂ විසිඅටහමාරකට අධික රන් භාණ්ඩ සොරාගෙන, සැමියාගෙන් වෙන්ව වෙනත් පුරුෂයෙකු සමඟ දිවිගෙවීමට ගිය රාජ්ය සේවිකාවක් ඇයගේ දෙවන පුරුෂයාද සමඟින් අත්අඩංගුවට ගත් ඉංගිරිය පොලිසිය, සොරාගත් රන් භාණ්ඩ සියල්ලමද සොයාගැනීමට සමත්ව තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු සහ මින්පෙර ඉංගිරිය ප්රදේශයේ පදිංචිව සිට පසුව ඔහු සමඟ දිවිගෙවීමට පැමිණි 38 හැවිරිදි කාන්තාවකි.
ඉංගිරිය ප්රදේශයේ මහාචාර්යවරයෙකුගේ බිරිඳ බව කියන මෙම කාන්තාව යම් පාඨමාලාවක් හැදෑරීම සඳහා ගිය අතරතුරදී තවත් පුරුෂයෙකු සමඟ සබඳතාවයක් ගොඩනඟාගෙන ඇති අතර, පසුව තම විවාහක සැමියා සමඟ ජීවත්වීමට අපහසු බව පවසමින් ඉංගිරිය පොලිසියෙහි පැමිණිල්ලක්ද ගොනුකර දෙවන පුරුෂයා සමඟ එක්ව ජීවත්වීමට පිටව ගොස් තිබේ.
සතියක පමණ කාලයකට පසු මෙම කාන්තාවගේ විවාහක සැමියාගේ මව (නැන්දම්මා)ට තමන් සතුව තිබූ ලක්ෂ විසිඅටහමාරකට අධික රන්භාණ්ඩ අස්ථානගතව ඇති බව දැනගැනීමට ලැබී ඇති අතර, පසුව ඒ සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියෙහි පැමිණිල්ලක් ගොනුකර ඇත.
ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ.එන්.ඩී.කොල්ලුරේ මහතාගේ අධීක්ෂණය මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රෝහණ මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදුකළ විමර්ශන යටතේ, සැකකාර කාන්තාව හොරණ වෙසෙන නිවස පරීක්ෂා කිරීමේදී රන් භාණ්ඩ උගස් කළ රිසිට්පත් සොයාගැනීමට හැකිව ඇති අතර, ඉන් එක් රිසිට්පතක් ඇය මේ වනවිට පදිංචිව සිටින හොරණ නිවසේ පුරුෂයාගේ නමට තිබූ බවද අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව දෙදෙනාවම අත්අඩංගුවට ගෙන සොරාගත් රන් භාණ්ඩ උගස් කර ඇති බැංකු සමඟද සම්බන්ධ වී එම රන් භාණ්ඩද සොයාගැනීමට පොලිසිය සමත්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකය.
ඉංගිරිය - නිමාලි කහවල