තම සැමියාගේ මව සතුව තිබූ රුපියල් ලක්ෂ 15ක මුදලක් සොරකම් කළ ලේලියක්,සොරකම් කරන ලද එම මුදලින් රුපියල් හය ලක්ෂ තිස් දහසක් සමග ඊයේ (28දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර වන්නියන් කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණියකි.
පැමිණිලිකාරිය ගේ පුතා හෙරොයින් මත්කුඩු තොගයක් සමග පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්ව දැනට බන්ධනාගාරගතව සිටින අතර ඇය තම දුව සහ පුතාගේ බිරිඳ සමග දෙමහල් නිවසක පදිංචිව සිටින බව පොලීසිය කියයි.
තමන් සතුව තිබූ මෝටර් රථයක් විකුණා ලබා ගත් රුපියල් ලක්ෂ 10 ක මුදලක් සහ ශීතකරණයක් හා වායුසමීකරණයක් විකුණා ලබාගත් ලක්ෂ 5ක් ඇතුළු ලක්ෂ 15 ක මුදලක් නිවසේ උඩු මහලේ කාමරයක තිබූ අල්මාරියක සුරක්ෂිතව තබා තිබියදී සොරකම් කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය කියයි.
පසුගිය 27 දින විශේෂ පොලිස් කණ්ඩායමක් මත්ද්‍රව්‍ය ඇද්දැයි පරීක්ෂා කිරීමට එම නිවසට ගිය අවස්ථාවේ දී පැමිණිලිකාරිය පොලීසිය සමග කාමරයකට ගොස් පොලිස් නිලධාරීන් ඉදිරිපිට අල්මාරිය පෙන්වන අතරවාරයේ දී එහි තිබූ මුදල් පසුම්බිය විවෘත කරන අවස්ථාවේදී එම මුදල් සොරකම් කර ඇති බව පළමු වරට අනාවරණය වී ඇති බව විමර්ශන සිදු කරන පොලීසිය සඳහන් කළේය.
පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශන වලදී විවිධ හේතූන් මත බොරු පැමිණිල්ලක් යන්න සම්බන්ධ සැක මතු වූ බවත්, ඒ අනුව සිදු කළ වැඩි දුර විමර්ශනයකින් අනතුරුව සත්‍ය පැමිණිල්ලක් බවට තහවුරු වීමෙන් පසු වැඩි දුර විමර්ශන මෙහෙයවා සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සොරකම් කරන ලද එම මුදලින් හය ලක්ෂ තිස් දහසක් සැකකාරියගේ සහෝදරියක සතුව තිබී හමුවූ බවත්, ඉතිරි මුදල් සමග සැකකාරියගේ පියා ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයිද පොලීසිය ප්‍රකාශ කළේය.
සැකකාරියගේ සහෝදරිය සහ පියා අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය කියයි.