මන්නාරම සිලාවතුර පොලිස් බල ප්රදේශයේ මුල්ලිකුලම් නාවික හමුදා කඳවුරේ සේවයේ නිරත සෙබලෙකුට ඊයේ (03) සවස වනඅලියෙකු පහරදීමෙන් මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
නාවික සෙබලා ඉංජිනේරු කාර්මික අංශයේ සේවයේ නිරත වන අතර ඊයේ සවස මුල්ලිකුලම් නාවික හමුදා කඳවුර ආසන්නායේ කිසියම් ගොඩනැගිල්ලක කාර්මික කටයුත්තක් කොට සවස ආපසු පාගමනින් කඳවුර දෙසට ගමන්කරමින් සිටින අතරවාරයේදී අසල රක්ෂිතයක සිට එකවරම දිව ආ වනඅලියෙකු පහරදී ඇත.
වනඅලියා පහරදීමෙන් බරපතල තුවාල ලැබූ නාවික සෙබලා රෝහලට රැගෙන යන අතරවාරයේ මිය ගොස් ඇතැයිද පොලීසිය පැවසීය.
මෙලෙස වනඅලි ප්රහාරයෙන් මිය ගොස් ඇත්තේ වයඹ විධානයට අයත් මුල්ලිකුලම් නාවික පරණ කඳවුරේ සේවය කරන පොල්පිතිගම ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි රත්නායක නැමති නිලධාරියෙකි.
මළසිරුර මේ වනවිට මන්නාරම රෝහල මෘතශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව ඥාතීන් වෙත සිරුර භාරදීමට නියමිතව ඇත.
ශිලාවතුර පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක මුණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් නාවික සෙබලාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.