ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400 ක් සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල්, වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය වෙත සංකේතාත්මකව භාර දීම ඊයේ (19දා) නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර මඟින් තැලසීමියා රෝගයෙන් පීඩා විඳින රෝගීන්ගේ ශරීරය තුළ එක්රැස්වන රුධිරයේ අඩංගු වැඩිපුර යකඩ ඉවත් කිරීම සිදු කරනු ලබයි. වෙළදපොළෙහි මෙම නික්ෂේපණ යන්ත්‍ර මිලෙන් ඉතා අධික බැවින්, නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් අඩු පිරිවැයකින් තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රයක් ප්‍රථම වරට 2011 වසරේදී නිෂ්පාදනය කරන ලද අතර, මේ වන විට තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 2774 ක ප්‍රමාණයක් දිවයිනේ ජාතික රෝහල් වෙත සහ තෝරාගත් තැලසීමියා රෝගී දරුවන් අතර අදියර කිහිපයක් යටතේ බෙදා හැරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
තවද, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිපදවනු ලබන තැලසීමීයා නික්ෂේපණ යන්ත්‍ර සඳහා 2011 වසරේදී ශ්‍රී ලංකා විලේපන, උපකරණ හා ඖෂධ පාලක මණ්ඩලයේ (CDDA –Cosmetics, Devices & Drugs Regulatory Authority) ප්‍රමිති සහතිකය හිමිවී ඇති අතර, තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වෙතින් පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ මධ්‍යම ප්‍රමාණයේ හොඳම නිෂ්පාදකයාට හිමි ජාතික සම්මානයෙන් 2012 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාව පිදුම් ලබා ඇත.
මෙම තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400 ක් සංකේතාත්මකව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබාදීමේ අවස්ථාව සඳහා, අධ්යක්ෂ නාවික ප්‍රතිපත්ති හා සැලසුම් කොමදෝරු චින්තක කුමාරසිංහ ඇතුළු නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.


