ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් වෙනුවෙන් පැවැත්වූ වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ මූලික පාඨමාලාව සාර්ථකව නිමාවට පත් කර තිබේ.
එම කාන්තා නාවික පුද්ගලයන් තමන් හැදෑරු නාවික ශිල්පය සහ යාත්‍රා හැසිරවීම පිළිබඳ ප්‍රායෝගික භාවිතය පිළිඹිබු වන අයුරින් පසුගියදා නාවික තඨාකාංගණයේදී නාවික හමුදාධිපති සහ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඉදිරියේ තම දක්ෂතා විදහා දක්වමින් සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන ලදී.
ඒ අනුව, මෙම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ ලුතිනන් (සැ) ඕඑස්එස් දන්නොරුව, ලුතිනන් (ස්වේ) ආර්ඒඅයි මධුශානී, ලුතිනන් (ස්වේ) එච්යූ එදිරිසිංහ, උප ලුතිනන්(විආ) එම්එන් ගුණවර්ධන යන කාන්තා නිලධාරීන් සිව්දෙනා (04) වෙත සහ කාන්තා නාවිකයින් නව දෙනා (09) වෙත සහතිකපත් පිරිනැමීම ද, 2022 දෙසැම්බර් මස 16 වන දින අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක සහ අධ්යක්ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් මහින්ද මහවත්ත ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
වෙරළබඩ මුර යාත්‍රා හැසිරවීමේ මෙම මූලික පාඨමාලාව තුලදී ජලතරණය, නාවික ශිල්පය, ගිනි නිවීම, පණිවිඩ හුවමාරුව, සංග්‍රාමික ප්‍රථමාධාර පිළිබඳ මෙන්ම වෙරළබඩ මුර යාත්රාවන්ගේ විදුලි හා විද්‍යුත් පද්ධතිය පිළිබඳවද න්‍යායික හා ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සහ නාවික තඨාකාංගණයේදී සිදු කෙරිණි.
තවද, මෙම සංකල්පය යථාර්තයක් කරමින් 2021 වර්ෂයේ පැවති 73 වන නිදහස් දින උත්සවයේනාවික හමුදා තූර්යය වාදක කණ්ඩායම සඳහා කාන්තා නාවිකයන් අනුයුක්ත කරන ලද අතර, නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නිලධාරීන් දෙදෙනෙකු සහ එක් කාන්තා නාවිකයෙකු මූලික කිමිදුම් පාඨමාලාව 2022 සැප්තැම්බර් මස 24 වන දින
සාර්ථකව සම්පූර්ණ කිරීමට සමත්විය.
තවද, මෙවැනි මූලික පාඨමාලාවන් ගෙන් අනතුරුව, වැඩිදුර පුහුණු අවස්ථා ලබාදීමට මෙන්ම, නෞකාවන්හි රාජකාරි සඳහා ඉදිරියේදී කාන්තා නාවික පුද්ගලයන් ඵලදායී ලෙස යෙදවීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා නාවික හමුදාව අපේක්ෂා කරයි.






