වෛද්‍ය ආනන්ද රත්නායක මහතා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) කළමනාකරණ මණ්ඩලයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද අතර, ඉන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් වෛද්‍ය ආනන්ද රත්නායක මහතා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) සභාපතිවරයා ලෙස පත් කරමින් ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා ලබාදීමට කටයුතු කරන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ද එක් ව සිටියහ.
වෛද්‍ය ආනන්ද රත්නායක මහතා කීර්තිමත් අධ්‍යාපනික හා සෞඛ්‍ය සේවා වෘත්තිකයෙක් වන අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨයේ ඡ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස ද දැනට සේවය කරනු ලබයි.
ඒ මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා ඇති අතර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් දෙවන පන්තියේ ගෞරව සහිත ව දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිය (BDS) ලබාගෙන ඇත. පසුව ඒ මහතා ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ (PGIM) පශ්චාත් උපාධි පුහුණුව සම්පූර්ණ කර ශල්‍ය වෛද්‍ය උපාධිය ලබාගෙන ඇති අතර, මුඛ සහ මැක්සිලෝෆේසියල් සැත්කම් පිළිබඳ මණ්ඩලයේ සහතික ලත් විශේෂඥයෙකු ද වේ.
වෛද්‍ය ආනන්ද රත්නායක මහතා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ මුඛ සහ මැක්සිලෝෆේසියල් ශල්‍ය වෛද්‍ය උපදේශකයෙකු (Specialist in Oral and Maxillofacial Surgery) ලෙස සේවය කර ඇති අතර, ඩන්ඩි (Dundee) හි නයින්වේල්ස් රෝහල (Ninewells Hospital), ඔක්ස්ෆර්ඩි විශ්ව විද්‍යාලයේ ඡෝන් රැඩික්ලිෆ් රෝහල (John Radcliffe Hospital - University of Oxford), එක්සත් රාජධානියේ රෝයල් ලන්ඩන් රෝහල (Royal London Hospital-United Kingdom), වැනි ප්රමුඛ ආයතනවල ජාත්‍යන්තර සායනික අත්දැකිම් ද ලබා ඇත.
වෛද්‍ය රත්නායක මහතා දැනට කීර්තිමත් තනතුරු කිහිපයක් දරන අතර, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ උප සභාපති, පොදුරාජ්‍ය මණ්ඩලීය දන්ත වෛද්‍ය සංගමයේ උප සභාපති, මෙරට දන්ත වෛද්‍ය සහ ස්ටෝමැටොලජි විද්‍යාලයේ උප සභාපති, පශ්චාත් උපාධි ආයතනයේ මුඛ සහ මැක්සිලෝෆේසියල් ශල්‍යකර්ම සහ දන්ත ශල්‍යකර්ම අධ්‍යයන මණ්ඩලයේ සාමජික, ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති සහ ශ්‍රී ලංකා මුඛ සහ මැක්සිලෝෆේසියල් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලෙසත්, සේවය කිරීම ඇතුළුව අතීත නායකත්ව භූමිකාවන් ද දරා ඇත.
ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සදහා එතුමා පුළුල් දායකත්වයක් ලබා දී ඇති අතර, උපදේශක කමිටු කිහිපයකට සහභාගි වී මුඛ පිළිකා කළමනාකරණය සඳහා වන ජාතික මාර්ගෝපදේශ සකස් කිරීමට ද දායක වී ඇත. ඒ මහතා බහුපොත් පරිච්ඡේද, පර්යේෂණ ප්‍රකාශන සහ මහජන සෞඛ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් සමග ක්‍රියාකාරී අධ්‍යයන දායකයෙකු ද වේ.
