මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට ලැබී තිබූ ලක්ෂ දහයක පමණ රියදුරු බලපත්‍ර ප්‍රමාණය නිකුත් කිරීම් සිදුකිරීමේදී දිනකට බලපත්‍ර 3500 - 4000 ක ප්‍රමාණක් එකතු වන බවත් කාර්යාලය තුළ ගොඩ ගැසී තිබූ රියැදුරු බලපත්‍ර ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් අගෝස්තු මස15 වන දිනෙන් පසුව නිකුත් කිරීමට හැකිවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා කියයි.
දැනට ඇති ප්‍රමාදය දෙපාර්තමේන්තුවේ සියලුම ප්‍රාදේශීය කාර්යාල 2026 ජනවාරි මස සිට මාර්ග ගත ක්‍රමයට කටයුතු කිරීම මගින් එක් දින සේවාව නැවතත් ආරම්භ කිරීමට හැකිවන බවද කීය.
බලපත්‍ර නිකුත් කිරීම සඳහා කාඩ් පත් ආනයනය කිරීමට කාලයක් ගත වන බවත් කාඩ් පත් ලක්ෂ අටක් සැපයුම්කරුවකු හරහා ලබා ගෙන සැප්තැම්බර් 5 වන විට ඒ ඇනවුමප්රමණය ලබාගැනීමටත් කාඩ්පත් මුද්‍රණය කිරීමට ඇනවුම් කල අති නවීන යන්ත්‍ර දෙක අගොස්තු මස 15 වන දින වන විටත් ලැබීමට නියමිත බැවින් මෙම ඉලක්ක සපුරා ගත හැකි බව තමන් විශ්වාස කරන බවද ප්‍රවාහන කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඔහු මේ අදහස් පළ කළේ ඊයේ කුරුණෑගල දී පැවති ඇතුගල්පුර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් (02) දින සංවිධානය කර තිබු මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
"කාලයක් තිස්සෙ තිබුණු රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය නිසා බලපත්‍ර ලක්ෂ දහයක (10 000 00) පමණ ප්‍රමාණයක් අපිට නිකුත් කර ගැනීමට නොහැකි වූ තත්ත්වයක් උද්ගත වෙලා තිබුණා. නමුත් අපි ක්‍රමානුකූලව ඒ තත්ත්වය තුලනය කරමින් ආවත් ඒ අතරතුර නැවත නැවතත් කාඩ්පත් 3500කට ආසන්න ප්‍රමාණයක් දිනපතා මේ ගොඩට එකතුවීම නිසා අපිට මේ ගැටළුව ප්‍රමාණවත් ආකාරයෙන් තුළනයකට ගැනීමට අපහසු තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා.
මේකට තවත් එක් හේතුවක් වෙලා තියෙන්නෙ අපේ ප්‍රාදේශීය කාර්යාල විසිපහක් දිවයින පුරා පිහිටා තිබුනත් එයින් දහයක් පමණයි මාර්ග ගත ක්‍රමයට කටයුතු කරන්නේ. ඉතිරි කාර්යාල 15 ම සාමාන්‍ය ක්‍රමයට කටයුතු කරන නිසාත් මේවා ක්ෂණිකව එකිනෙක සම්බන්ධ කර ගැනීමේ ගැටලුකාරී තත්ත්වත්වයක් තියෙන්නේ, ඒ නිසාත් මේ බලපත්‍ර නිකුත්කිරීමට යම් කාලයක් ගත වෙනවා.
බලපත්‍රය නිකුත් කිරීම සඳහා අවශ්‍ය කාඩ් පත් ආනයනය කිරීමටත් යම් කාලයක් ගතවෙනවා. ඒ අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියන් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මේ වන විට කාඩ්පත් ලක්ෂ අටක් (8 000 00) මිලදී ගැනීම සඳහා සැපයම් කරුවකු අපි තෝරාගෙන තියෙනවා. එම ඇණවුම සැප්තැම්බර් මස 05 වෙනි දින වන විට අපිට ලැබීමට නියමිතයි. ඒ අනුව මේ වන විට නිකුත් කිරීමට සුදානම් කොට තිබෙන රියදුබලපත්ර තුන් දහසකට ( 3 000) ආසන්න ප්‍රමනයක් අපිට නිකුත් කිරීමේ හැකියාව ලැබේවි.
ඒ වෙනුවෙන්ම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ඉහළ තාක්ෂණයෙන් යුතු මුද්රණයන්ත්ර දෙකක් ඇනවුම් කරලා තිබෙනවා. ඒ යන්ත්‍ර දෙකත් මේ මස (අගෝ) 15 වන දින වන විට අපිට ලැබීමට නියමිතයි. එම යන්ත්‍ර දෙකත් අපිට ලැබුණහම මේ ගොඩ ගැසී තිබෙන රියැදුරු බලපත්‍ර සියල්ල නිකුත් කරල නැවතත් එක්දින සේවාව පහසුවෙන්ම ආරම්භ කිරීමට හැකි වෙනවා.
ඒ සඳහා දැනට සාමාන්‍ය ක්‍රමයට ක්‍රියාත්මක කරන අපේ ප්‍රාදේශීය කාර්යාල පහළවත් ඇතුළුව ප්‍රාදේශීය කාර්යාල විසිපහම මාර්ගගත ක්‍රමයට කටයුතු කිරීමේ ක්‍රියාවලිය ලබන ජනවාරි වන විට ආරම්භ කිරීමට සූදානමින් සිටිනවා. මේ සියල්ල සම්පූර්ණ වූ විට ආසන්න වශයෙන් ලබන ජනවාරි මාසයේදී අපට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක කිරීමට හැකිවෙතැයි විශ්වාස කරනවා.
මීට අමතරව පැරැණි රියැදුරු බරපත්‍ර ලක්ෂ විස්සක් (2 000 000) පමණ අවලංගු කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය කටයුතු කරන බවට රාවයක් පැතිර යනවා මේ කටකතාවේ කිසිම සත්‍යතාවයක් නැහැ. අපි එහෙම කිසිම තීන්දුවක් අරගෙන නෑ. කෙසේ වුවත් ඒ පැරණි බලපත්‍ර නැවත යාවත්කාලීන කළ යුතුයි. ඒ සඳහා අපි කිසියම් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. අදාල ක්‍රමය ක්‍රියාත්මක වන තෙක් එම බලපත්‍ර මෝටර් රථ ධාවනය සඳහා වලංගු බව අදාළ අංශ දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා එම බලපත්‍ර ලාභීන් කිසිවෙකු කිසිදු බියක් ඇතිකරගත යුතු නැහැ. "
කෙටි කාලීන වීසා මත මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශකයින්ට ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීමට අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් අද (3) සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයෙහි ආරම්භ කර ඇති බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේය.
සංචාරකයින්ට තාවකාලිකව රියදුරු බලපත්‍ර ලබාගෙන සංචාර ගමනාන්තය දක්වා ගමන් කිරීමේ හැකියාව පවතින බවද මෙහිදී පැවසීය.
මෙතෙක් එම කටයුතු සිදුකරුණේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේදී වුවත් සංචාරකයින්ගේ පහසුව පිණිස 03 දින සිට මෙම කටයුතු කටුනායක ගුවන් තොටුපලෙහිදී අරඹීමට තීරණය කොට ඇති බවත් කොමසාරිස් වරයා පවසයි.
මෙරටට සංචාර සඳහා පැමිණෙන විදේශකයින් බොහෝ විට කටුනායක ගුවන් තොටුපළ හෝ ඊට ආසන්න ස්ථානවලින් වාහන කුලී පදනම මත ලබාගෙන ඔවුන්ම රියදුරන් සේ කටයුතු කරමින් සිය සංචාර වල නිරත වන බවත් මේ සඳහා යතුරුපැදි සහ ත්‍රිරෝද මෙන්ම සැහැල්ලු වාහන ද යොදාගන්නා බව පෙනී ගොස් ඇතැයි කොමසාරිස්වරයා කියයි.
නව ක්‍රමවේදය යටතේ විදේශිකයින්ට සැහැල්ලු වාහන හා යතුරු පැදි සඳහා පමණක් බලපත්‍ර නිකුත් කෙරෙන අතර බර වාහන හෝ ත්‍රී රෝද රථ සඳහා රියදුරු බලපත් නිකුත් නොකරන බවද ඒ මහතා පෙන්වා දෙයි.
මහව - සජීවා කෝට්ටගොඩ
