නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් නිලන්ත ප්‍රේමරත්න
නව යුද හමුදාපතිවරයා වශයෙන් ලුතිතන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පත්කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිර්දේශ මත එම පත් කිරීම සිදුකර ඇත. ඔහු ශ්‍රී ලංකාවේ 26 වැනි යුද හමුදාපතිවරයා ලෙස රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.
1990 වසරේදී ශිෂ්‍ය නිලධාරියෙක (Officer Cadet) ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වූ නිලන්ත ප්‍රේමරත්න මහතා දියතලාව යුද හමුදා පීඨයේ පුහුණුවෙන් පසු, 1992 වසරේදී දෙවන ලුතිනන්වරෙකු ලෙස අධිකාරියට පත් වූයේය.
අනතුරුව කාලතුවක්කු නිලධාරියෙක් (Gunner Officer) ලෙස කාලතුවක්කු බලකායට එක්වූ ප්‍රේමරත්න මහතා අවසන් වරට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර හෙබවූයේ ය.
යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාධිපති ලෙස කටයුතු කළ ඔහු කාලතුවක්කු හමුදාවේ 6 වන ක්ෂේත්‍ර රෙජිමේන්තුවේ බටහිර අණදෙන නිලධාරී (Battery Commander), යුද හමුදා පීඨයේ උපදේශක, 211 පාබල බලසේනාවේ බලසේනා මේජර්, යුද හමුදා මූලස්ථානයේ මහ මාණ්ඩලික නිලධාරී (මෙහෙයුම්), යුද හමුදාපතිතුමාගේ හමුදා සහකාර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ ලේකම්, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 16 වන රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා යුද හමුදා පීඨයේ ප්‍රධාන උපදේශක, 551 පාබල බලසේනාවේ බලසේනාධිපති, මාධ්‍ය අධ්යක්ෂ සහ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ අධිකාරි ජෙනරාල් (Adjutant General) ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් දැරුවේය.
තවද බටහිර සහරාවේ එක්සත් ජාතීන්ගේ ජනමත විචාරණ හි හමුදා නිරීක්ෂකයෙකු ලෙසද සේවය කල ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා හි නාවික පශ්චාත් උපාධි පාසලෙන් (Naval Postgraduate School) ත්රස්තවාදයට එරෙහි ප්‍රතිපත්ති සහ උපායමාර්ග පිළිබඳ විශේෂඥතාව සහිත ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති (MA) උපාධියක්ද, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති (MDefS) උපාධියක්ද ලබා ඇත. දෙවතාවක් රණ ශූර පදක්කමෙන් සහ උත්තම සේවා පදක්කමෙන් පිදුම් ලබා ඇති මේජර් ජෙනරාල් ප්‍රේමරත්න මහතා, "The Impact of Changing External Conditions on Counter Insurgency: The Sri Lankan Experience" (ත්‍රස්ත විරෝධී මෙහෙයුම් සඳහා වෙනස් වන බාහිර තත්ත්වයන්ගේ බලපෑම: ශ්‍රී ලාංකේය අත්දැකීම) නමැති ග්‍රන්ථයේ කර්තෘවරයාද වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
