පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40ක කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනු ලැබුවේ විපක්ෂනායකවරයාගේ කණ්ඩායමක් ලෙස නොවන බවත්, ඒ අනුව තමන් ඇතුලු කණ්ඩායම විපක්ෂයේ සිට ස්වාධීනව කටයුතු කරන බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (19දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුව ඉවත්ව ගොස් නව ආණ්ඩුවක් බිහි විය යුතු බවට ජනතාවගේ ඉල්ලීම වන බවත්, එම සටන් පාඨයට සහ විරෝධතාවයන්ට තමන් ඇතුලු කණ්ඩායම ආශිර්වාද කරන බවත් සඳහන් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියටත්, වර්තමාන යුගයේ පාර්ලිමේන්තුව විදියටත් අද ඉතාමත් වැදගත් දවසක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වගේම පක්ෂ 11 එකමුතුවත්, පොදුජන පෙරමුණේ පොහොට්ටුව පක්ෂයේ සිටි මන්ත්‍රීවරු ඇතුලු අපි අද 40ක් විපක්ෂයේ ඇවිත් වාඩි වුණා. විපක්ෂයේ ඇවිත් වාඩි වුණේ විශේෂයෙන්ම අද රටේ පවතින ආර්ථික අර්බුදය, සමාජ අර්බුදය සහ එයින් පැන නැගුණ දේශපාලන අර්බුදය කියන මේ කරුණු ගණනාවක් නිසා. අද රටේ ජනතාව විශාල පිරිසක් බඩගින්නේ ඉන්නවා. පෝලිම් ගැන කියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ තිබෙන ප්‍රශ්න වලට විසඳුමක් ලෙස ආණ්ඩුව විසින් අලුත් ඇමති මණ්ඩලයක් පත් කිරීමෙන් මේ තිබෙන ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙයි කියලා අපි හිතන්නේ නැහැ.
රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා වගේම මේ තිබෙන ප්‍රශ්න වලට ප්‍රධාන වශයෙන්ම අපි සියලුදෙනා එකතුවෙලා විසඳුමක් සෙවිය යුතු වෙනවා. විශේෂයෙන්ම ජනතාවගේ හඬ බවට පත්වෙලා තිබෙන්නේ ආණ්ඩුවේ සියලු දෙනාම ඉවත්විය යුතුයි, අලුත් ආණ්ඩුවක් හැදිය යුතුයි කියන එක. ඒ තුල මේ ප්‍රශ්න වලට විසඳුම් ගන්න පුලුවන් කම තිබෙනවා. අපි මේ 40 ඇවිත් වාඩි වුනේ විපක්ෂ නායකතුමාගේ කණ්ඩායමක් ලෙස නොවෙයි. අපි විපක්ෂය තුලත් ස්වාධීන කණ්ඩායමක් ලෙසයි කටයුතු කරන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිවම කියනවා 20 වැනි සංශෝධනය අහෝසි කළ යුතුයි කියලා. ඒ වගේම මගේ ආණ්ඩුව විසින් ගෙන එන ලද 19 වැනි සංශෝධනය නැවත සංශෝධන සහිතව සම්මත කළ යුතුයි. ඒ වගේම අද ජනතාවගේ ඉල්ලීම මේ තිබෙන ආණ්ඩුවේ සියලුදෙනා ඉවත්ව ගොස් නව ආණ්ඩුවක් පත් විය යුතුයි කියලා. ඒ නිසා ඒ සටන් පාඨයටත්, විරෝධතා කරැවන්ටත් අපේ ආශිර්වාදය පුද කරනවා, යනුවෙන් සඳහන් කළේය.