කෝවිඩ් 19 වසංගතයට දේශීය ඖෂධීය පානයක් නිෂ්පාදනයක් කළේ යැයි ජනප්‍රියත්වයට පත්ව සිටි කෑගල්ලේ උඩුමාගම ධම්මික බණ්ඩාර නමැත්තාගේ බාල සහෝදරයෙකු කෝවිඩ් නිව්මෝනියාව හේතුවෙන් පසුගිය 12වැනිදා ජීවිතක්ෂයට පත්වූ බව කෑගල්ල පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, කෑගල්ල, හෙට්ටිමුල්ල, මාකූර,ගනේගොඩතැන්නේ පදිංචිව සිටි තිදරු පියෙකු වන අප්පුකුට්ටි කංකානමලාගේ හීන් බංඩා (අවු.58) නමැත්තෙකි.
මිය ගොස් ඇති පුද්ගලයා තිදරු පියෙකු වන අතර ගලනාල පිළිකාවක් සෑදීමෙන් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර පසුගිය 12වැනිදා රාත්‍රි නිවසේදී හදිසියේ දී ජීවිතක්ෂයට පත්ව තිබුණි.
පසුව කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය හා කෑගල්ල පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් කුමාර පාරඹේයන නිලධාරියා පසුදා නිවසට ගොස් දේහය කෑගල්ල මහ රෝහලට වැඩිදුරටත් පරීක්ෂණ සඳහා රැගෙන ගොස් තිබුණි. පසුව කෑගල්ල මහ රෝහලේ දී දේහය සම්බන්ධයෙන් කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ.
පසුව දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පසුගිය13වැනිදා කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමන්ත විජේරත්න මහතා විසින්පැවැත්විණ. එහිදී කෝවිඩ් නිව්මෝනියාව හේතුවෙන් මිය ගොස් ඇති බවට කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය නිගමනය කළාය.
මිය ගිය තිදරු පියාගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු පෙරේදා (14දා) සවස සෞඛ්‍ය නීතිරීති අනුව කෑගල්ල ආදාහනාගාරයේදී සිදුකළ බව කෑගල්ල පොලීසිය පවසයි.
කෑගල්ල - චමින්ද ජයලත්