"විදුලිබිල්පත් ඉහළයාම මේ අවස්ථාවේ මහජනතාවට දරා ගැනීමට අපහසු බව රජය පිළිගන්නවා. නමුත් දැනට රටවල් කිහිපයක් අතර ඇතිව තිබෙන යුද්ධමය තත්ත්වය හේතුව නිසා ආනයනය කරනු ලබන ද්‍රව්‍ය මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා මෙම අවාසනාවන්ත තත්ත්වය නිසා අපේ රටේ ජනතාවට විදුලි බිල ඉහළ දැමීමට සිදුවීම කණාගාටුදායකයි" බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
නමුත් ජලබිල්පත් ඉහළ නැංවීමට මෙම අවස්ථාවේ දී අවශ්‍යතාවයක් නොමැති බවත් එවැනි යෝජනාවක් ඉදිරි වුවහොත් ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා නොදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (21) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන්ට මෙවර මහ කන්නයේ දී බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය බීජ නොමිලයේ බෙදා හැරීමේ අගුනකොළපැලැස්සේ දී පැවැති වැඩ සටහනට සහභාගි වෙමිනි.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂිව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩ සටහන මගින් මෙවර මහ කන්නයේ දී අනුරාධපුර, මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙහි අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමට තීරණය කර ඇත. මේ සඳහා අවශ්‍ය බඩඉරිඟු බීජ හා යුරියා පොහොර නොමිලයේ ගොවීන්ට බෙදා හැරීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 350කි.
"ලෝකයේ බලවතුන් අතර පවතින මෙම යුද්ධමය වාතාවරණය අපේ රටටත් බලපා තිබෙනවා. කතාවක් තිබෙනවා ලෝකයේ ධනවත් රටවල්වලට සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන කොට දුප්පත් රටවලට නියුමෝනියාව හැදෙනවා කියළා. ඒ වගේ රුසියාව හා යුක්රේණය අතරත්, ඊශ්‍රායලය හා පලස්තීනය අතරත් ඒට ගත් යුද්ධය නිසා ආනයනය කරන භාණ්ඩ මිල ඉහළ යාමේ අවදාමක් තිබෙනවා.
ජල බිල්පත් ඉහළ යන බවට තොරතුරු මාධ්‍යවල පළවී තිබුනා. නමුත් මම කියන්නේ මේ අවස්ථාවේ ජලබිල්පත් වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා එවැනි යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වුවහොත් ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන්නේ නැහැ.
මෙවැනි අසීරුතාවලින් ගොඩ ඒමට තිබෙන එකම විකල්පය අපි සියලු දෙනාම එකට එක් වී වැඩ කිරීමයි. දේශපාලන වාසි තකා අපි වෙන්වී කටයුතු කලොත් එමගින් සිදුවන්නේ අපි තව තවත් ආගාධයට වැටීම විතරයි.
විදුලිබිල ඉහළ නැංවීම හොඳ දෙයක් නොවෙයි. නමුත් අපේ රටේ තවමත් විදුලි බලය වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ තාප බලයෙන්. මේ දිනවල ප්‍රදේශ ගණනාවකට වැස්ස ලැබුනත් ජල විදුලි බලාගාරවල තවමත් සියයට සියයක් ජල විදුලිය උත්පාදනය ආරම්භ වී නැහැ.
විදූලි බල මණ්ඩලයේ නිලධාරිනුත් යම් කැපකිරීමක් කළ යුතුයි. හැම වෙලාවේම ජනතාව පමණක් කැප වීම් කළ යුතු බවට ඉල්ලුම් කිරීම සාධාරණ නැහැ. ඒ නිසා අපි සියලු දෙනා මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා කටයුතු කළ යුතුයි"