මෙරට නිෂ්පාදිත සේලයින් දේශීය වෙළෙඳපොළට ප්‍රථම වරට නිකුත් කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ඊයේ (15දා) පියවර ගන්නා ලදී.
සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව අලුත් රටට - අලුත් බෙහෙත් යන සංකල්පය යටතේ නිෂ්පාදිත මෙම සේලයින් කෙලුන් ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගම විසින් මෙරටදී නිෂ්පාදනය කරනු ලබන මෙම සේලයින්හි පූර්ණ හිමිකම අමාත්‍ය මණ්ඩලය අනුමැතිය යටතේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවට හිමිව ඇත.
ඒ අනුව එම සංස්ථාව විසින් වරලත් අලෙවි නියෝජිතයන් හරහා මෙම නිෂ්පාදිතය දේශීය වෙළෙඳපොළට නිකුත් කරනු ලැබේ.
විවිධ රෝගාබාධවලදී රුධිරයේ ජල ප්‍රතිශතය අඩුවීමට පිළියමක් ලෙස සේලයින් රුධිරගත කිරීම මෙන්ම තුවාල පිරිසුදු කිරීම, කෝඨරක (Sinuses) ඉවත්කිරීමේ ප්‍රතිකාර ඇතුළු තවත් ප්‍රතිකාර සඳහා භාවිත කෙරෙන සේලයින් (Large Volume Parentals) සඳහා මෙරට වාර්ෂික අවශ්‍යතාව මිලියන 26ක් පමණ වන බව සඳහන්ය.
කෙසේවුවද මෙරට දේශීය සේලයින් නිෂ්පාදනය 2021 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කළ අතර, මෙම වසරේ මාර්තු මස වනවිට රජයේ සියලු රෝහල්වල සේලයින් අවශ්‍යතාව සපුරාලීමට හැකිවූ බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පැවසීය.
මේ අතර රත්මලාන පිහිටි රාජ්‍ය ඖෂධනිෂ්පාදන නීතිගත සංස්ථාවට අයත් පරිශ්‍රයේදී ඊයේ පැවති මෙම වැඩසටහනට එක්වෙමින් විෂය භාර රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කර සිටියේ,මෙරටට අවශ්‍ය ඖෂධවලින් 28%ක් පමණ දේශීයව නිෂ්පාදනය කිරීමට මේ වනවිට හැකියාව ලැබී ඇති බවයි.