පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 28 දෙනෙක් සාකෂි ලබාදී අවසන් - පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු සාක්ෂි ලබාදීම ජුනි 26න් පසුව
වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් කැඳවීම 23 වැනි සඳුදා සිට
වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් සාක්ෂි ලබාදීමට සාක්ෂිකරුවන් 15 දෙනෙක්
පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව තවත් සාක්ෂිකරුවන් 7 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගැනීම සඳහා අඛණ්ඩව සිව්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් අද (19) දිනද රැස්විය.
මේ අනුව අද දින සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවන් 7 දෙනාද ඇතුළුව පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 28 දෙනෙකු පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදීමට පැමිණ අවසන් අතර පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි ලබාදීම ජුනි 26න් පසුව සිදු කිරීමට පරීක්ෂණ කමිටුවේ අවසරය හිමිවිය. මෙම සාක්ෂිකරුවන් දෙදෙනා රාජකාරී කටයුත්තකට විදේශගතව ඇති බවත් ජුනි 26 දින නැවත දිවයිනට පැමිණීමට නියමිත බවත් මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් පරීක්ෂණ කමිටුවට පෙන්වා දෙන ලදි. මේ අනුව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්රම මහතාගේද එකඟතාවය මත 26 වැනිදායින් පසු දිනක මෙම සාක්ෂිකරුවන් දෙදෙනා සාක්ෂි ලබාගැනීමට සහ හරස් ප්‍රශ්න ඇසීම සඳහා පරීක්ෂණ කමිටුව හමුවට ඉදිරිපත් කිරීමට පරීක්ෂණ කමිටුවේ අවසරය හිමි විය.
පරීක්ෂණ කමිටුව හෙට දිනද නොකඩවා රැස්වීමට සැලසුම් කර තිබුණද, වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්රම මහතා ඉල්ලා සිටියේ වගඋත්තරුගේ නඩුව ඉදිරිපත් කිරීමට සූදානම් වීමට 23 වැනි සඳුදා දින දක්වා කල් ලබාදෙන ලෙසයි.
මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්ගේද එකඟත්වය ඇතිව ඒ සඳහා පරීක්ෂණ කමිටුවේ අවසරය හිමි විය. මේ අනුව පරීක්ෂණ කමිටුව 23 වැනි සඳුදා දින නැවත රුස්වීමට නියමිත අතර එදින සිට 25 වැනි බදාදා දක්වා දිනපතා පෙ.ව. 9.30ට, වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් සාක්ෂි ලබාගැනීම සඳහා පරීක්ෂණ කමිටුව හමුවට කැඳවීම නියමිතය.
එසේම මෙම දින 3 තුළ වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් සාක්ෂි ලබාදීමට සාක්ෂිකරුවන් 15 දෙනෙකු පැමිණීමට නියමිත බවද මෙහිදී පරීක්ෂණ කමිටුව දන්වා සිටියේය. මෙම සාක්ෂි ලබාගැනීමෙන් අනතුරුව 26 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 2.00 ට පරීක්ෂණ කමිටුව නැවත රැස්වීමටද මෙහිදී තීරණය විය.