නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් විසින් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබා දීම, පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේදී අද (03) සිදු විය.
මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් අද (03) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් මෙසේ ලබා දීම සිදු වුණි.
මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් පෙන්වා දුන්නේ වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්රම මහතාගේ නිවසටම ගොස් පසුගිය සති අන්තයේ සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් 12ක් ලබා දීමට කටයුතු කළ බවයි. එසේම අද දිනයේදී, සාක්ෂිකරුවන් 10කගේ දිවුරුම් ප්‍රකාශයන් කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබාදුන් අතර, ඉතිරි දිවුරුම් ප්‍රකාශ එළඹෙන කමිටු වාරයකදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෝ කමිටුවට ප්‍රකාශ කර සිටියහ.ෙ
මේ අනුව වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය ඉල්ලා සිටියේ පෙර එකඟවූ පරිදි සියලු සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ අද දින තම පාර්ශ්වය වෙත ලබා දෙන ලෙසයි. පසුව දෙපාර්ශ්වයේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව තවත් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ 6ක පිටපත් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබාදීම යෝග්‍ය බව කමිටුවේ මතය වූ අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ එකඟත්වය පළ විය. එසේම දිවුරුම් ප්‍රකාශ 2 ක් දෙපාර්ශ්වයටම පහසු දිනයක සහ වෙලාවක පෞද්ගලිකව පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ කියවීමට කමිටුව අවසර දෙන ලදි.
තවත් එක් සාක්ෂියක් ලෙස ලබා දී ඇති මාධ්‍ය සාකච්ඡාවක සංයුක්ත තැටියක් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබා දීමටද පරීක්ෂණ කමිටුව තීරණය කළ අතර නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් එය ලබා දීමට කටයුතු කළේය.
මෙම සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය ඉදිරිපත් කිරීම 9 වැනිදා ප.ව. 2.00ට පරීක්ෂණ කමිටුව රැස්වී සිදු කිරීමට නියමිතය.