2020 වර්ෂයේ දී රුපියල ඩොලරයට සාපේක්ෂව කෘතිමව ස්ථාවරව පවත්වාගෙන යෑමට එවක පැවති රජය ගත් වැරදි තීරණය හේතුවෙන් ඩොලර් කළු කඩය ව්‍යාප්ත වීම මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්තවීම කෙරෙහි බලපා ඇති ප්‍රධානතම සාධකයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද දින (2022.11.10 ) පාර්ලිමේන්තුවේ දී ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙසේ අදහස් දැක්වීය.
"මහින්ද ජනපතිතුමා 2010 දී පොරොන්දු වුණා පංච බල කේන්ද්‍රයක් බවට ලංකාව පත් කරන්න. ඒ පහ කෙසේ වෙතත් ලංකාව දැන් වේගයෙන් ආසියාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රය බවට නම් පත් වෙමින් තිබෙනවා. අවාසනාවට අපේ ආදරණීය රටවිරුවන් තමන්ගේ නොදන්නාකමින් ශ්‍රී ලංකාව ආසියාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රය බවට පත් කර ගැනීමේ ක්‍රියාවලියට දායක වෙමින් ඉන්නවා.
අද මත්ද්‍රව්‍ය ගෙන්නන කෙනෙකුට වෙනත් භාන්ඩයක් ආනයනය කරන ආකාරයට බැංකුවක් හරහා සල්ලි ටීටී කරලා එල්සී ඇරලා මත්ද්‍රව්‍ය ගේන්න බෑ. මත්ද්‍රව්‍ය තොගය හොර රහසේ රට ඇතුළට එව්වත් ඒකට ගෙවීම විදිහට ඩොලර් ලබාගන්න ක්‍රමයක් නැහැ. ඩොලර් කළු කඩෙන් විතරයි මත්ද්‍රව්‍ය ජාවාරමට අවශ්‍ය ඩොලර් ගන්න පුළුවන්. අපේ ඩොලර් කළු කඩේ බොහොම පුංචියි. ඒ නිසාම බැංකුවක් ඩොලරයට ගෙවන ගානයි කළු කඩේ ගානයි අතර තිබුණේ රුපියලක දෙකක වෙනසක්.
2020 දී රුපියල 203 ට අල්ලා ගෙන ඉන්න ආණ්ඩුව ගත්ත වැරදි තීන්දුව නිසා කළු කඩේ ව්‍යාප්ත වෙන්න ගත්තා. අපේ විදෙස් ගත ශ්‍රමිකයින් වැඩි වාසියට ගණනක් ගෙදරට එවන්න බැංකු අත් හැරලා කළු කඩේ තෝරා ගත්තා. කළු කඩේට යහමින් ඩොලර් ලැබුණා. මෙතෙක් කල් කළු කඩේ පුංචි නිසා මත්ද්‍රව්‍ය ජාවාරම ද තිබුණේ පුංචියට. නමුත් කළු කඩේ ව්‍යාප්ත වෙන්න ව්‍යාප්ත වෙන්න මත්ද්‍රව්‍ය ජාවාරම වර්ධනය වෙලා තියෙනවා.
අපේ රටේ සමහර මන්ත්‍රීවරුන් මේ පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටතත් කියනවා ලංකාවට ඩොලර් එවන්න එපා කියලා. ආණ්ඩුවත් එක්ක අපිත් තරහක් තියෙනවා. හැබැයි මුහුණත් එක්ක තරහ ට නහය කපාගෙන හරියන්නේ නැහැ. දැන් ඩොලර් එවන්න එපා කියලා අපේ ඇතැම් මන්ත්‍රීතුමන්ලා පිටරට ඉන්න අයට කිව්වට ඒ අයගේ ලංකාවේ අයට ජීවත් වෙන්න සල්ලි නැතුව බැහැ. ඒ නිසා බැංකු හරහා වෙනුවට කළු කඩයෙන් වැඩි වැඩියෙන් ඩොලර් එවන්න මේ අය පෙළඹිලා තියෙනවා. ඒ නිසාම මේ මත්ද්‍රව්‍ය ජාවාරම වඩ වඩාත් ව්‍යාප්ත වෙලා තියෙනවා.
අපේ ආදරණීය රටවිරුවන්ට මත කරන්න අවශ්‍යයි එක පැත්තකින් ඔබේ දරුවන් මත්ද්‍රව්‍ය වලට යොමු වෙනවා නම් රටේ බැංකු පද්ධතියට රටට අවශ්‍ය බේත් ටික ගේන්න බැරුව ඔබේ දෙමව්පියන්ට මිය යෑමේ අවදානමකට ලක්වෙන්න වෙනවා නම් තමන්ගේ එවන ඩොලර් වලට රුපියල් කීපයක් වැඩියෙන් ලැබිලා ලැබෙන වාසිය ප්‍රයෝජනය මොකක්ද කියලා හිතනන්න.
ඒ වගේම දේශපාලකයින්ගේ අනුග්‍රහය නැතුව සහ පොලිසියේ සහයෝගය නැතිව මත්ද්‍රව්‍ය ජාවාරමක් පවතින්න බෑ. ලෝකේ ඕනෑම රටක් සම්බන්ධයෙන් ඒකයි තිත්ත ඇත්ත. පොලිසිය බොහොම අමාරුවෙන් ජීවිතය පරදුවට තබලා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අල්ලා ගත්තාම දුරකතන ඇමතුම් එන්නේ බලවතුන්ගෙන්.
මේ වෙලාවට පොලිසිය අසරණ වෙනවා. ශ්‍රී ලංකාව ආසියාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රය බවට පත්වීම නතර කර ගැනීමට අපට අවශ්‍ය වෙනවා නම් ඒකේ පළමු පියවර තමයි මේ 225 ඉන්න අපි හැමෝම අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනෙ කිසිදු හේතුවක් මත මැතිවරණයකට කෙතරම් මුදල් දුන්නත් කෙතරම් සෙනග ලැබුණත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දෙන්නේ නැහැ සබඳතා පවත්වන්නේ නැහැ කියලා. ඒක ලංකාව ආසියාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානය බවට පත් වීම නතර කර ගැනීමේ පළමු වැදගත් පියවර බව මම සිහිපත් කරනවා."