වෛද්‍ය ස්ථාන මාරුවක් සම්භන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබදව කරුණු සොයාබලා වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත උපදෙස් ලබා දී ඇත.
ඒ අනූව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සිව් පුද්ගල කමිටුවක් පත් කිරිමට මේවන විට පියවර ගෙන ඇත.
එම කමිටුවේ සම සභාපතිවරුන් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (විමර්ශන) තාරකා දිසානායක මහත්මිය සහ අධ්යක්ෂ (ප්‍රාථමික සෞඛ්‍ය සේවා) වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. සරත්චන්ද්‍ර කුමාරවංශ මහතා කටයුතුකරන අතර සෙසු සාමාජිකයන් ලෙස එම අමාත්‍යාංශයේ සහකාර ලේකම් (හදිසි වැටලීම්)ii එච්.පී.පී. ජයවික්‍රම, විමර්ශන නිලධාරී කේ.එම්.ඩී.එල්. අමරතුංග යන මහත්වරුන් කටයුතු කරනු ලබයි.
දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ දැනට ඇතිවී තිබෙන තත්ත්වය හා එයට බලපා ඇති හේතු සහ ඒ ආශ්රිත කරුණු සම්භන්ධයෙන් සොයා බැලීමක් සිදුකර වහාම වාර්තාවක් භාරදීමට කටයුතුකරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉහත කමිටු සාමාජිකයන් පත්කරමින් එම නිලධාරීන්ට දැනුම් දී ඇත.