දෙනියාය නව යෝජිත රෝහලට ඉන්දියවෙන් රු. මි. 600ක වෛද්‍ය උපකරණ
දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව ඇති වූ පාරිසරික බලපෑම් හා භූ විද්‍යාත්මක අවදානම් සැලකිල්ලට ගනිමින්, වෙනත් ආරක්ෂිත ස්ථානයකට ස්ථානගත කිරීමට යෝජිත දෙණියාය මූලික රෝහල සඳහා රුපියල් මිලියන 600ක පමණ වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබේ.
ඒ සඳහාවන අවබෝධතා ගිවිසුම (Memorandum of Understanding) අත්සන් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
ඉන්දීය රජයේ Aftermath Cyclone of Ditwah Project (දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ප්‍රතිසාධන ව්‍යාපෘතිය) යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මඟින් නව දෙණියාය මූලික රෝහල සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීමට නියමිත අතර, එමඟින් දෙණියාය සහ අවට ප්‍රදේශවල ජනතාවට වඩාත් සුරක්ෂිත, ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ හැකියාව ශක්තිමත් වනු ඇත.
මෙම ගිවිසුම මඟින් නව රෝහල සඳහා අති නවීන හා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීමට හැකිවීමෙන්, රෝහලේ ප්‍රතිකාර සේවාවන් තවදුරටත් පුළුල් කිරීම, රෝග විනිශ්චය හා ප්‍රතිකාර සේවාවන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ සහ අවට ප්‍රදේශවල ජනතාවට වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් සැපයීමටද වැදගත් දායකත්වයක් සැලසෙනු ඇත.
ස්වාභාවික ආපදා අවදානම හේතුවෙන් දැනට පවතින ස්ථානයෙන් වෙනත් සුදුසු ස්ථානයකට දෙණියාය මූලික රෝහල ස්ථානගත කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර, එම නව රෝහල සඳහා අවශ්‍ය රුපියල් මිලියන 600ක පමණ වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ ලබාදීමට ඉන්දීය රජය Aftermath Cyclone Ditwah Project යටතේ එකඟ වී තිබීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයට ලැබුණු සුවිශේෂී සහයෝගයක් බව ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
මෙම වටිනා පරිත්‍යාගය මඟින් දෙණියාය සහ අවට ප්‍රදේශවල ජනතාවට වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම සහ නවීන සෞඛ්‍ය සේවාවන් ලබාදීම සඳහා නව රෝහලේ සේවා ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවෙනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
වත්මන් දෙණියාය මූලික රෝහල පිහිටා ඇති භූමිය නායයෑම් ඇතුළු ස්වාභාවික ආපදා අවදානමට ලක්ව ඇති බැවින් හා රෝහල් සේවාවන් පුළුල් කිරීමට ඉඩකඩ මදිවීමත් සැලකිල්ලට ගනිමින් රෝහල ආරක්ෂිත නව ස්ථානයකට ස්ථානගත කිරීම සෞඛ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයේ ප්රමුඛ ව්‍යාපෘතියක් ලෙස රජය ක්‍රියාත්මක කරමින් සිටී.
ඒ අනූව නව ස්ථානයක ඇඳන් 300කින් සමන්විත නවීන මූලික රෝහලක් ඉදිකිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
දෙණියාය නගරයට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි හැන්ඩ්ෆර්ඩ් වතුයායෙන් (Handford Estate) සුදුසු ඉඩමක් හඳුනාගෙන ඇති අතර, භූ විද්‍යාත්මක සහ තාක්ෂණික ඇගයීම්වලින් අනතුරුව එම ස්ථානය නව රෝහල ඉදිකිරීම සඳහා තෝරාගෙන ඇත.
රුපියල් මිලියන 6,000ක (රුපියල් බිලියන 6ක) ආයෝජනයක් යටතේ අදියර දෙකකින් මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
පළමු අදියර යටතේ පිරිමි, කාන්තා, ළමා හා මාතෘ වාට්ටු, ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සහ රුධිර බැංකුවක් ඇතුළත් වේ.
මෙම නව්‍ය සැලසුමට පොදු ප්‍රවාහනයෙන් පැමිණෙන රෝගීන් සඳහා වෙනම ප්‍රවාහන ප්‍රවේශයක් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා නිල නිවාස ද ඇතුළත් වේ.
මෙම වර්ෂයේ දී ඉදිකිරීම් ආරම්භ කර වසර තුනක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී රෝහලේ අනාගත අවශ්‍යතා ද සැලකිල්ලට ගනිමින් රෝගී ධාරිතාව තවදුරටත් පුළුල් කළ හැකි ආකාරයෙන් සැලසුම් සකස් කිරීමට ද අවධානය යොමු කර ඇති අතර නවීන තාක්ෂණයෙන් සමන්විත, පරිසර හිතකාමී සහ ආපදා ඔරොත්තු දෙන සෞඛ්‍ය ආයතනයක් ලෙස මෙම රෝහල සංවර්ධනය කිරීම වත්මන් රජයේ අපේක්ෂාවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
