“දුව හෙල්මට් දාලා හිටියේ නෑ. ත්‍රී රෝද රථයක් අපේ ඉස්සරහට ආවා. ඒක පසුපසින් ආපු වෑන් රථයක් එකපාරටම ත්‍රී රෝද රථය පසුකරන්න පාරේ දකුණු පැත්තට ගත්තා. අපි ගියපු යතුරුපැදිය ඒ වෑන් එකේ ඉස්සරහා දකුණු පැත්තේ වැදිලා අපි දෙන්නා විසි වුණා. සිහිය එනකොටට මම හිටියේ ඉස්පිරිතාලේ.” යැයි බඳගිරියේ දී සිදු වූ රිය අනතුරකින් මියගිය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ මරණයේ දී සාක්ෂි දුන් ඇගේ පියා කීවේය.
මෙලෙස මියගොස් ඇත්තේ හේවා කොකාවලගේ නෙත්මි ප්‍රබෝධා නමැති බඳගිරිය, කෑලියවලාන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියකි.
ඇගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය පසුගිය 08 වැනි දා ගාල්ල ජාතික රෝහලේ දී හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පවත්වන ලදී.
තරුණියගේ පියාවන හේවා කොකාවලගේ නන්ද තිලකසිරි සමන් ශ්‍රියන්ත (57) සාක්ෂි දෙමින් මෙසේ ද කීවේය.
“අගෝස්තු 29 වැනි දා දුව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉදලා ගෙදර එන්න ආවා. හවසට අපේ පාරේ බස් නැති නිසා මම දුව ගන්න කියලා යතුරුපැදියෙන් පල්ලමලල හන්දියට ගියා. දුව ගන්න විට සවස 6.30 පමණ වුණා. එයත් අරගෙන පල්ලමලල හන්දියේ සිට බඳගිරිය දෙසට කිලෝ මීටර 3ක් විතර එන අතර වක්කාරිය හන්දිය අසළ දී බඳගිරිය පැත්තේ ඉදලා ත්‍රී රෝද රථයක් ආවා. එය පිටුපසින් ආපු වෑන් රථයක් ත්‍රී රෝද රථය පසුකර යාමට පාරේ දකුණු පැත්තට ගත්තා.
මගේ යතුරු පැදිය වෑන් රථයේ ඉදිරිපස දකුණු පැත්තේ ගැටුණා. ඒ සමඟම මමත් දුවත් පාරේ අයිනට පෙරළුණා. මට සිහිය නැති වුණා. මම ඊට පසු සිදුවූ කිසි දෙයක් දන්නේ නෑ, මට සිහිය එනකොට හිටියේ හම්බන්තොට රෝහලේ. මගේ දකුණු කකුලත්, දකුණු අතත් තුවාල වෙලා තිබුණා. දුවගේ ඔළුවෙන් ලේ ගැලුවා. දුව හෙල්මට් දාලා හිටියේ නෑ. එදා ම රෑ දුව ගාල්ල ජාතික රෝහලට යැව්වා මම දුව බලන්න ආවේ පසුගිය 05 වැනි දා එතකොට දුවගේ හිසට සැත්කමක් කරලා සිහිය තිබුණේ නෑ. දැඩි සත්කාර ඒකකයේ හිටියේ. 08 වැනි දා දුව මියගියා.”
මියගිය තරුණියගේ මව විජමුණි දුරගේ අනුලා (53) මහත්මිය සාක්ෂි දෙමින් මෙසේ කීවාය.
“දුවත් මහත්තයාත් අනතුරකට ලක්වෙලා කියලා එ වෙලාවේම අපිට පණිවිඩය ලැබුණා. පුතා ඉක්මනට එතනට ගියා. මම දුවගේ දුරකරථනයට ඇමතුම් ගත්තත් එයා කතා කළේ නෑ. එතන හිටපු අය ගෙදරට ආවා. තාත්තයි දුවයි දෙන්නම රෝහලට ගෙන ගියා කිව්වා. මම ඉක්මනට අවශ්‍ය බඩු අරගෙන රෝහලට ගියා. මහත්තයා කතා කළා. දුවට සිහිය තිබුණේ නෑ. එයාගේ නාහෙන් කටින් ලේ ඇවිත් තිබුණා. එදාම රෑ දුව ගාල්ල ජාතික රෝහලට ගෙන ගියා. මමත් දුව සමඟ ගියා. ගාල්ලේ දී හිසේ සැත්කමක් කරලා දැඩි සත්කාර ඒකකයට දැම්මා. අටවැනි දා අලුයම දුව මියගියා.”
මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.ඩී.සමරවීර මහතාගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සළකා බැලූ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා මරණය සිදුවූයේ රිය අනතුර හේතුවෙන් හිසට සහ මොළයට සිදු වූ තුවාල නිසා යැයි තීරණය කළේය.
සිරංගිකා ලොකුකරවිට
