(UPDATE)" අපේ පවුලේ සිටි එකම සොහොයුරා මෙහෙම අවසන් ගමන් ගියේ ඇයි කියල හිතාගන්නවත් බැහැ. මගේ මල්ලිගේ මරණයට වගකියන්න ඕනෙ මේ කාලකන්නි වර්ජනය කාරයො කියලයි කියන්න තියෙන්නෙ " යැයි දුම්රියෙන් ගමන් කරමින් සිටියදී අනතුරටපත්ව මියගිය තරුණයාගේ සොයුරිය දරාගත නොහැකි වේදනාවෙන් කියා සිටියාය.
කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ සීග්‍රගාමී දුම්රියකින් ගමන් කරමින් සිටියදී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත් ගම්පහ , මොරගොඩ, පදිංචිව සිටි දිනිත් ඉදුවර පෙරේරා තරුණයාගේ වැඩිමහල් සොයුරිය සෙනුරි දිනිති මෙනෙවිය එසේ තම ශෝකය ප්‍රකාශ කළාය.
දහඅට වෙනි වියෙහි පසුවූ දිනිත් ඉදුවර , දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක දෙවෙනි දරුවාව සිටි අතර ඔහුට වැඩිමහල් සොයුරියක් සහ බාල සොයුරියන් දෙදෙනෙකි. පවුලේ එකම පිරිමි දරුවා මෙලෙස අනපේක්ෂිත ලෙස මියයාම හේතුවෙන් සොයුරියන් තිදෙනාත් ,මව සහ පියාත් , මිත්තණියත් වේදනාව දරාගත නොහැකිව පසුවූ ආකාරය එම නිවසට ගිය අවස්ථාවේ දැකගත හැකි විය.
ගම්පහ , ගජබා විදුහලෙන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබා ඇති දිනිත් මොරටුව කාර්මික විද්‍යාලයක පාඨමාලාවක් හැදෑරීම ආරම්භ කොට ඇත්තේ මෙම වසරේදී වන අතර නිවසේ සිට ගම්පහට ගොස් දුම්රියෙන් ගොස් ඇත.
සොහොයුරා පිළිබඳව කතා කරමින් වැඩි මහල් සොයුරිය මෙසේද පැවසුවාය.
" මගේ මල්ලි දඩබ්බර වැඩ කරන කෙනෙක් නෙවෙයි. හරිම අහිංසකයි. ඉස්කෝලෙන් අයින් වෙලා කෝස් එකක් කරන ඕන කියල තමයි මොරටුව යන්න ගත්තෙ. හැමදාම තාත්ත සයිකලෙන් , මල්ලිව ගම්පහ ස්ටේෂන් එකට උදේට ගිහින් ඇරලවල සවසට ගිහින් එක්කන් එනව. එහෙම පරිස්සම් කරපු මගේ මල්ලි මේ විදියට අපිව දාල ගියෙ.
මල්ලිට කලින්දා වැස්ස නිසා යන්න බැරි වුනු හින්දා කොහොම හරි යන්න ඕනයි කියල අද ගියේ. ඒත් මම උදේ කිව්ව මල්ලි අද වර්ජනයක් හින්ද සෙනග ඇති පරිස්සමින් යන්න කියලත්. අනේ ඉඩ නැති නිසා එල්ලිලා යන්න ඇති.
මල්ලි මට උදේ කෝල් එකක් දීල තිබුනත් මට ඒ වෙලාවෙ කතාකරන්න බැරි වුනු නිසා පස්සෙ කතා කළත් මල්ලි කතා කළේ නැහැ. පස්සෙ තාත්තට කතා කළාම තාත්ත අඩන්න ගත්ත. පස්සෙ තමයි දැනගත්තෙ මල්ලිට මෙහෙම කරදයක් වෙලා කියල."
දිනිත්ගේ නිවස අසල මිතුරෙකු වන ලහිරු ලක්මාල් මහතා සදහන් කර සිටියේ , නිහඬ අයෙකු වූ මොහු ප්‍රදේශයේ කාසමගත් ඉතා සුහදව සිටි බවය.
මෙම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් තවත් අසල්වැසියෙකු අදහස් දක්වමින් පවසා සිටියේ , ජනතාව පීඩාවට පත් කරමින් සිදු කෙරෙන වර්ජන ආදියෙන් මෙලෙස ජීවිතයක් නැතිවීමේ පාඩුවත් , ශෝකයත් පවුලට දරාගැනීමට සිදුව ඇති බවය.
කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියකින් වැටීමෙන් 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ගම්පහ , මොරගොඩ ප්‍රදේශයේ විසූ දිනිත් ඉදුවර පෙරේරා නමැති තරුණයෙකි.
මෙම තරුණයා මොරටුව කාර්මික විද්‍යාලය පාඨමාලාවක් හැදෑරීම පිනිස දුම්රියෙන් ගමන් කිරීම සිදු කොට ඇති අතර අද (12) පැවැති දුම්රිය රියදුරන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අධික ලෙස මගීන්ගෙන් මැදිරි පිරී තිබීම මත ගම්පහ දුම්රිය ස්ථානයෙන් සීඝ්‍රගාමී දුම්රියෙහි මැදිරියක පසෙකින් ඉහලට නැග ඇත.
දුම්රිය හොරපෙ දුම්රිය ස්ථානය වෙත ළඟාවෙනවාත් සමග මොහුගේ හිස දුම්රිය ස්ථානයෙහි වහලයෙහි ගැටී බිම ඇද වැටී මද දුරක් ඇදී ගොස් ඇති බවත් මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
මියගිය තරුණයාගේ සිරුර රාගම ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන තිබිණි.
තිලකරත්න දිසානායක
