ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව සඳහා අභිනව දියවඩන නිලමේවරයෙකු පත් කර ගැනීම සඳහා නොවැම්බර් මස 07 වැනි දින පැවැත්වීමට නියමිත ඡන්දය සඳහා ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇති උඩරට රාජධානියේ රජමහා විහාර භාරකරුවන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇති බැවින් ඡන්දයට මාසයකට පෙර එය නිරාකරණය කර නොගතහොත් එම ඡන්දයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත කියයි.
ඒ මහතා අවධාරණය කර සිටියේ දියවඩන නිලමේ ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති උඩරට රාජධානියේ රජමහා විහාර 160 කට ආසන්න සංඛ්‍යාවක භාරකරුවන් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට නොමැති බැවින් 1931 වසරේ ස්ථාපිත විහාර දේවාලගම් ආඥා පනතේ 4/1 වගන්තිය උල්ලංඝනය වන බවයි.
මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සෙනාරත්න මහතාගෙන් කළ විමසීමකදී එම ඡන්ද හිමි නාම ලැයිස්තුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මෙතෙක් ලැබී නොමැති බවට සඳහන් කළ බවද සංජය මහවත්ත පැවසීය.
එම රජමහා විහාර භාරකරුවන් වශයෙන් සිටි වැඩිහිටි හිමිවරුන් අපවත් වීමෙන් පසු ඊට පත්වු භාරකරුවන් සම්බන්ධයෙන් මෙම ගැටළුව උද්ගතව ඇති බවයි පැවසෙන්නේ.
සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත පවසා සිටින්නේ ඕනෑම ඡන්දයක ඡන්දදායකයන් නිසි ක්‍රමවේදයකට අනුව ප්‍රකාශ නොකොට කැඳවා ඇති ලෝකයේ එකම ඡන්දය මෙය බවයි.
මේ අතර බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න මහතා දියවඩන නිලමේ අපේක්ෂකයන්ට ලිපියක් යොමු කරමින් ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ ඇති සෙංකඩගල එක්සත් බෞද්ධ මණ්ඩල ගොඩනැගිල්ලේ ශ්‍රීමත් බෙනට් සොයිසා සංස්කෘතික ශාලාවේදී නොවැම්බර් මස 07 වැනි දින පස්වරු 2.00 ට එම ඡන්දය පැවැත්වෙන බවට දැනුම් දී තිබේ.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ දියවඩන නිලමේ ඡන්දයට ඉදිරිපත් වීමට ඇති සුදුසුකම් සඳහන් කරමින් දිවුරුම් ප්‍රකාශයක් එදිනට රැගෙන එන ලෙසත් එම සුදුසුකම් ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි ද රැගෙන එන ලෙස එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.