දියගම වනාන්තරය රක්ෂිතයක් කරයි
කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රදේශයේ පිහිටි දියගම වනාන්තර කලාපය ආරක්ෂා කිරීමට රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා අද(09) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
අතහැර දමා තිබූ කුඩා ඉඩම් කොටසක් ස්වභාවිකව වැවී පසුගිය වසර විස්සක පමණ කාලය තුළ වැසි වනාන්තරයක ලක්ෂණ සහිත සංවේදී පරිසර පද්ධතියක් බවට පරිවර්තනය වී ඇති අතර, නාගරිකකරණය හමුවේ කොළඹ දිස්ත්‍රික්කයේ වාසස්ථාන අහිමි වූ වන සතුන් රැසක් මේ වන විට මෙම පරිසර කලාපය වෙත සංක්‍රමණය වී ජීවත් වෙති.
කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්. ඩබ්. රන්වල, ඉලේපෙරුම සහ අබේකෝන් ඇතුළු විද්වතුන් පිරිසක් සිදු කළ පර්යේෂණාත්මක ක්ෂේත්‍ර අධ්‍යයනයන්ට අනුව, මෙම භූමිය ආශ්‍රිතව ශාක හා සත්ව විශේෂ 120කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තිබේ. ඒ අතරින් ශ්‍රී ලංකාවට ආවේණික සත්ව විශේෂ මෙන්ම, රත් උණහපුළුවා වැනි දුර්ලභ සතුන් සහ පැටවුන් බිහි කිරීමට ආසන්න ගැබ්බර සතුන් වාර්තා වීම මෙහි පවතින ඉහළ ජෛව විවිධත්වය මනාව පෙන්නුම් කරන සාධකයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ ජපන්-ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් පිටිය ආසන්නයේ පිහිටි මෙම හරිත පෙදෙස, ප්‍රදේශයේ ක්‍රීඩකයන් හා ජනතාව පිටකරන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීම සඳහා වැදගත් පරිසර පද්ධතියකි.
පැරිස් සම්මුතියට අනුව 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය (Net Zero Emission) ළඟා කර ගැනීමේ ඉලක්කයට සෘජු දායකත්වයක් මේ හරහා ලබා දෙන අතර බොල්ගොඩ ජල පද්ධතියට ජලය සපයන සුවිශේෂී ජලපෝෂක කලාපයක් ලෙසද මෙම වනාන්තරය ක්‍රියාත්මක වේ.
මේ අනුව, ප්‍රාදේශීය ලේකම්, රාජ්‍ය නිලධාරීන් සහ පරිසරවේදීන්ගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ (DCC) අනුමැතිය ලබා ගැනීමෙන් පසු, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හරහා මෙම වටිනා භූමිය නිල වශයෙන් රක්ෂිතයක් බවට පත් කිරීමට ඉදිරියේ දී කටයුතු කරනු ඇති බව ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කරුණු අවධාරණය කරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

