දින හතකට ආසන්න කාලයක් අඳුරේ තිබු ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට 31 වෙනිදා සවස සිට විදුලිය සම්බන්ධතාවය ලබාදීමට විදුලිබල මණ්ඩලය කටයුතු කළේය.
රුපියල් ලක්ෂ 57 ක හිග විදුලිබිලක් පැවතීම හේතුවෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය ඉකුත් 24 වෙනිදා විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කටයුතු කළහ.
විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මහා කාශ්‍යප මහ පිරිවෙනේ සාමණේර භික්ෂුන් වහන්සේලා මෙන්ම,ගිලන් භික්ෂූන් වහන්සේලා මෙන්ම ස්වාමීන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් දැඩි අසීරුතාවට පත්ව සිටියහ.
මෙම පසුබිම යටතේ පසුගිය 29 වෙනිදා මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත්, පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු, මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විහාරස්ථානයට ගොස් භික්ෂූන් වහණ්සේලාත්, විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ යන මැති ඇමැතිවරුන් සමඟ දුරකථනයෙන් කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් ආරණ්‍ය සේනාසනයට විදුලිය ලැබිණි.
විහාරස්ථ සංවර්ධන අරමුදලින් රුපියල් ලක්ෂ පහක මූලික ගෙවීමෙන් අනතුරුව ඉතිරි ලක්ෂ 52 ක මුදල මාසිකව රුපියල් ලක්ෂය බැගින් වසර 5 ක් තුළ ගෙවීමේ පදනම අනුවත්, සහ මින් ඉදිරියට මාසිකව ලැබෙන විදුලි බිල අඛණ්ඩව ගෙවීම්ටත් විදුලිබල අමාත්‍යවරයාට ලබාදුන් පොරොන්දුවෙන් පසු ඔවුන්ගේ උපදෙස් අනුව සවස විදුලිබල මණ්ඩලය විදුලිය සබඳතාවය ලබා දුන්නේය.

මනම්පිටිය නිමල් ජයරත්න